නියෝමාල්-එමිල් යළි රිමාන්ඩ්
April 24, 2018 01:17 pm
2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් 27 දෙනෙකු මරණයට පත් වීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා මැයි මස 8 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
අදාළ පැමිණිල්ල අද(24) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කැඳවනු ලැබීය.
එහිදී රහස් පොලීසිය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ මාධව තෙන්නකෝන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව අංශ දෙකක් ඔස්සේ පරීක්ෂණ සිදු කරන බව කියා සිටියේය.
මෙහිදී අගතියට පත් පාර්ශවය නිතිඥවරු අධිකරණය කරුණු දක්වමින් සිද්ධිය ඇතිවූ අවස්ථාවේ බන්ධනාගාරය තුළට යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායට ඇතුළුවීම සඳහා අණ දුන් ඉහළ පෙලේ පුද්ගලයින් කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන ලෙස රහස් පොලීසියට නියෝගයක් පනවන්නැයි ඉල්ලා සිටියේය.
ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා සඳහන් කර සිටියේ අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රතිපාදනවලට අනුව අගතියට පත් පාර්ශවය කරන ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමට තමන්ට බලයක් නොමැති බවයි.
එම කරුණු සම්බන්දයෙන් අවධානය යොමු කරන මෙන් පොලීසිය වෙත දැනුම් දීමට හැකියාවක් පවතින බව ද මහෙස්ත්‍රාත් වරයා සඳහන් කළේය.
මෙහිදී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වරයා අධිකරණය හමුවේ කියා සිටියේ සාක්ෂිවලින් යම්කිසි පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය වන්නේ නම් ඔහුට එරෙහිව පියවර ගැනීමට පැමිණිල්ල කිසිසේත්ම පසුබට නොවන බවයි.
එහෙත් යම් යම් පුද්ගලයින් සිතේ තබා ගනිමින් පරීක්ෂණ සිදු කිරීමට හැකියාවක් නොමැති බව සඳහන් කළ රජයේ නීතිඥවරයා මෙම
පරීක්ෂණය පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව සිදු කරන බව කියා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 8 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද රහස් පොලීසියට නියම කළේය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉකුත් දින කරන ලද නියෝගයකට අනුව මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනයෙන් වාර්තාවක් අධිකරණය වෙත යොමු කර ඇති බවත්, එම වාර්තාවට අනුව සැකකරුවන් දෙදෙනා නඩු විභාගයට පෙනී සිටීම සඳහා සුදුසු මානසික තත්ත්වයකින් පසුවන බවට කරුණු වාර්තා කර ඇතැයි ද ප්‍රකාශ කළේය.