කැබිනට් මණ්ඩල සංශෝධනය මැයි එකට පෙර

කැබිනට් මණ්ඩල සංශෝධනය මැයි එකට පෙර

April 22, 2018   06:57 pm



යෝජිත කැබිනට් මණ්ඩල සංශෝධනය මැයි පළමු වැනිදාට පෙර අනිවාර්යයෙන්ම සිදු කෙරෙන බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එලෙස අලුත් කැබිනට් මණ්ඩලයක් පත් කරමින් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියටත් එක්ව ආණ්ඩුව ගෙන යන බව රාජිත සේනාරත්න සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් අනාවරණ කර සිටියි.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වී ජනාධිපතිවරයා දිවයිනට පැමිණී පසු 23 වනදා සඳුදා දිනයේ නව කැබිනට් සංශෝධනයක් සිදුකෙරෙන බවට පසුගිය දිනවල වාර්තා පළවිණි.

ඒ අනුව විද්‍යානූකූල පදනමක් මත අමාත්‍යාංශ විෂය පථයන් සැකසීම සඳහා ජනාධිපති ලේකම්වරයා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා එක්ව කටයුතු කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා අනාවරණ කළේය.

කෙසේ වෙතත් හෙට සහ අනිද්දා දෙදින තුළ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සාකච්ඡා කර කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීන්දු ගනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

රජයේ ප්‍රකාශකයකු අද දෙරණට සඳහන් කළේ යෝජිත කැබිනට් සංශෝධනය මැයි මස පළමු වනදාට පෙර අනිවාර්යයෙන්ම සිදුවන බවයි.

නව කැබිනට් මණ්ඩලයක් පත් කර , එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියටත් එක්ව ආණ්ඩුව ගෙන යන බව රාජිත සේනාරත්න සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් අනාවරණ කළේය.