ඛනිජ තෙල් මිල සූත්‍රය ගැන බන්දුලගෙන් ඉඟියක්

ඛනිජ තෙල් මිල සූත්‍රය ගැන බන්දුලගෙන් ඉඟියක්

April 22, 2018   05:06 pm



හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් තුන් අවුරුදු ගිවිසුම අනුව එහි සිව්වන නිරීක්ෂණය සඳහා මේ වන විට රජය එහි නියෝජිතයන් සමඟ යම් යම් එකඟතාවයන්ට පැමිණෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති ගිවිසුම නිසා මැයි මස පළමු වන දා වන විට ඛනිජ තෙල් සඳහා මිල සූත්‍රය හඳුන්වාදීමට සිදුවන බවත් ඒ අනුව ඛනිජ තෙල් මිල හා ගෑස් මිල ඉහළ යාමේ හැකියාව පවතින බව එතුමන් ප්‍රකාශ කළේය.

රජය සිංගප්පූරුව සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වන බවත් විදේශ ආයෝජන සඳහා මෙතෙක් විවෘත නොවූ දොරටු ප්‍රමාණයක් විවෘත වීමට ඉඩ ප්‍රස්ථාව ලබාදී ඇති බවත් ශ්‍රී ලංකාව තුළ සිංගප්පූරුවට ලැබෙන ඉඩ ප්‍රස්තාව ශ්‍රී ලාංකිකයන්ට සංගප්පූරුව දෙසින් නොලැබෙන බව ආර්ථික විශේෂඥයින් ප්‍රකාශ කරන බවද බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මැයි මස හත්වන දා පැවැත්වෙන කම්කරු දිනයේදී ජනතාව මේ පිළිබඳව දැනුවත් කරන බවත් එය ජනතාවගේ උද්ඝෝෂණයක් බවට පත් කර ගැනීමට බලාපොරොත්තු වන බවත් එතුමන් පැවසීය.

මහ නායක හිමිවරුන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් දීමනා නවත්වා ගරු සේවයක් බවට පත් කරන ලෙස කළ ඉල්ලීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මාධ්‍ය හමුවකට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගෙන් විමසීය.

එහිදී එතුමන් පැවසුවේ කවුරුන් කුමක් පැවසුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගරු සේවයේ කටයුතු කිරීමට නොහැකි බවත් මහජන නියෝජිතයන් වශයෙන් පත් කළ අපට ජනතාවගේ උත්සව අවස්ථාවලට සහභාගී වන විට එවාට උදව් කිරීමට සිදුවන බවයි.