ආනන්දන් සුදාකරන්ගේ දියණියට උතුරේ ආණ්ඩුකාරවරයාගෙන් ත්‍යාගයක්

ආනන්දන් සුදාකරන්ගේ දියණියට උතුරේ ආණ්ඩුකාරවරයාගෙන් ත්‍යාගයක්

April 21, 2018   08:49 pm



කොළඹ දී බෝම්බ පිපිරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වී සිටින කිළිනොච්චියේ ආනන්දන් සුදාකරන්ගේ දියණියට අධ්‍යාපන කටයුතු කරගෙන යාම පිණිස රුපියල් 10,000 ක මුදල් ආධාරයක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් පිරිනමා තිබේ.

දරුවන් දෙදෙනෙකුගේ පියකු වන සුදාකරන් බන්ධනාගාර ගතව සිටියදී මීට මාස දෙකකට ඉහතදී  ඔහුගේ බිරිද පිලිකා රෝගයෙන් මිය ගිය අතර ඇගේ අවසන් කටයුතු සඳහා සුදාකරන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද  බන්ධනාගාර බස් රථයකින් පැමිණ ආපසු යාමට සූදානම් වූ අවස්ථාවේදී කුඩා දියණියද පියා සමඟ යාමට අවශ්‍ය බව කියමින් බස් රථයට නැගීමත් සමගම ඒ සිද්ධියට විශාල ප්‍රචාරයක් ලැබුණි.

පියාත් මවත් දෙදෙනාම අහිමි වී සිටින මේ දරුවන් දෙදෙනාගේ අනාගතය දෙස සානුකම්පිතව බලා සුදාකරන්ට පොදු සමාවක් ලබා දෙන ලෙස කිළිනොච්චියේ වැසියෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අතර තුර සුදාකරන්ගේ දරුවන් උතුරු  පළාත් ආණ්ඩුකාරවරයා හමුවටද ගිය අවස්ථාවේදී එතුමා මේ පරිත්‍යාගය ලබා දී තිබේ.