විදුලි ඉංජිනේරුවරුන් සකස් කළ සැලැස්ම යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා

විදුලි ඉංජිනේරුවරුන් සකස් කළ සැලැස්ම යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා

April 21, 2018   07:13 pm



මෙරට විදුලි සැපයුම පිළිබඳව විදුලි ඉංජිනේරුවරුන් සකස් කළ දිගුකාලීන ජනන සැලැස්ම යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරයි.

කෙසේවෙතත් අදාළ සැලැස්ම වෙනුවට වෙනත් සැලැස්මක් අනුමත කිරීමට මහජන උපයෝගිතා කොමිසම සූදානම් වන බවට විදුලි ඉංජිනේරු සංගමය චෝදනා කරයි.

මෙරට දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් 2500 ක් පමණ වේ.

එම ඉල්ලුමෙන් 40% - 50%ත් අතර ප්‍රමාණයක් නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙනුත් , 35% - 40% ත් අතර ප්‍රමාණයක් ඩීසල් බලාගාරවලිනුත්,15% - 20%ත් අතර ප්‍රමාණයක් ජල විදුලි බලාගාරවලින් සහ  ඉතිරිය වෙනත් පුනර්ජනනීය බලාගාරවලින් සපුරා ගැනෙයි.

මෙහිදී ජල විදුලි ඒකකයක් සඳහා රුපියල් 2.50 ක් සහ ගල්අඟුරු විදුලි ඒකකයක් සඳහා රුපියල් 8 ක් වැය වන අතර  ඩීසල් විදුලි ඒකකයක් සඳහා එම පිරිවැය රුපියල් 25 සිට 60 දක්වා ඉහළ අගයක් ගනියි.

මෙම පාඩුව අවම කරගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විශේෂඥයන්ගේ සහායෙන් දිගුකාලීන මිශ්‍ර ජනන සැලැස්මක් සකස්කළ අතර එය පසුගිය වසරේ මැයි මාසයේදී මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කරනු ලැබීය.

එහෙත් අදාල කොමිසම එම සැලස්ම නොසලකා හරිමින් ගැටලු උද්ගත කරවන ආකාරයේ වෙනත් බලාගාර සැලැස්මක් අනුමත කිරීමට සූදානම් වන බවට  විදුලි ඉංජිනේරුවරුන් චෝදනා කරයි.

මේ නැගෙන චෝදනා සහ මතුව ඇති තත්ත්වය පිළිබඳව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් විමසූ විට ඔහු පැවසුවේ විදුලි ඉංජිනේරුවන්ගේ සැලැස්ම සම්බන්ධව කඩිනම් පියවරක් තමන් ගන්නා බවයි.