වේවැල් දලයා නැමති ඇත් පැටවාට වෙඩි තියලා - ඇත් පැටවාට තුවාලයි

වේවැල් දලයා නැමති ඇත් පැටවාට වෙඩි තියලා - ඇත් පැටවාට තුවාලයි

April 21, 2018   11:53 am



දඹුල්ල දිගම්පතහ  රක්ෂිතයේ  නිරන්තරයෙන් ප්‍රධාන මාර්ගය ආසන්නයේ සැරිසරමින් සිටි කුඩා වේවැල් දලයා නමින් හඳුන්වන ඇත් පැටවාට කිසියම් පිරිසක් වෙඩි තැබීම නිසා ඔහුගේ එක් අතකට තුවාල සිදුවී ඇතැයි සිගිරිය වනජීවී නිලධාරීහු පවසති.

පසුගිය දින කිහිපයේම කුඩා වේවැල් දලයා නමින් හඳුන්වන මෙම ඇත් පැටවා සොයාගැනීමට නොහැකිව සිටි බවත් ඊයේ (20) දින පස්වරුවේ ඇත් පැටවා ප්‍රධාන මාර්ගය ආසන්නයේ ගැවසෙන බවට ලැබුණු තොරතුරක් මත සීගිරිය වනජීවී නිලධාරීහු පිරිසක් එම ස්ථානයට ගොස් ඇතාට වෙඩි වැදීමෙන් සිදුව ඇති හානි පිළිබඳව නිරීක්ෂණය කළහ.

එහිදී එක් අතකට වෙඩි වැදී සිරුර ඇතුලෙන් පැසවා ඇති ආකාරය වනජීවි නිලධාරියෙකු වූ නිරීක්ෂණය කළහ. නිරීක්ෂණය කරනවාත් සමගම කුඩා වේවැල්  දලය එකවරම වනජීවී නිලධාරීන්ට පහර දීමට පැමිණ තිබේ. පසුව අලි වෙඩිල්ලක් ආධාරයෙන් වනජීවී නිලධාරීහු ඇත් පැටවා නැවතත් හරවා යැවීමට ක්‍රියා කර තිබේ.

මේ වන විට දඹුල්ල දිගම්පතහ  රක්ෂිතයේ දඹුල්ල නගරයෙන් ඉවත් කර කුණු කසළ ආහාරයට ගැනීම සඳහා පැමිණ සිටින වේවැල් දලයා නමින් හඳුන්වන ඇතා සහ තවත් වනඅලින් 6 දෙනෙකු  වෙඩි වැදී සිටින බව සීගිරිය වනජීවී කාර්යාලයේ ප්‍රධානි වන සත්ව අඩවි ආරක්ෂක  බබ්ලිව් .එම් .බණ්ඩාරනායක මහතා පැවසීය.

දැනට සිදුකරන ලද නිරීක්ෂණ අනුව මෙම වන අලින්ට බඳින තුවක්කු පත්තු වීමෙන් තුවාල සිදුව ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. සිංහල අලුත් අවුරුද්ද උදාවීමට දින කිහිපයක් තිබියදී මෙයාකාරයෙන් සියලු අලින්ට වෙඩි වැදීම පිළිබඳවද නිරීක්ෂණය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය. 

බොහෝදුරට අලුත් අවුරුදු සමයේ වන අලින්ට කැලෑවට ගෙනත් දමන එළවළු ප්‍රමාණය අවම වීම නිසා ආහාර සොයා වන අලින් ගම් වදිද්දි මෙවැනි අනතුරුවලට ලක් වනවාද යන්න සැකයක් පවතින බව බණ්ඩාරනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.