එංගලන්ත ජාතික වෛද්‍යවරයාට නැවතත් කරාපිටිය රෝහලේ සැත්කම් කිරීම‍ට අනුමැතිය

එංගලන්ත ජාතික වෛද්‍යවරයාට නැවතත් කරාපිටිය රෝහලේ සැත්කම් කිරීම‍ට අනුමැතිය

April 20, 2018   10:31 pm

වෛද්‍ය සභාවේ දැන්වීම අනුව එංගලන්ත ජාතික හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය  රිචඩ් කේ.ෆර්මින් මහතාට යළි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් කිරිමට අනුමැතිය ලබාදුන් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා කියා සිටියි.
 
රිචඩ් ෆර්මින් මහතාට  හෘද සැත්කම් කිරිම සඳහා යළි අවස්ථාව ලබාදෙන බව පවසමින් රෝහල් අධ්‍යක්ෂකවරයා අදාළ අංශවෙත ලිඛිතව දැනුම් දී ඇත.  

එංගලන්ත ජාතික හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිචඩ් කේ. ෆර්මින් මහතාට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් කිරිම වළකාලමින් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා විසින්ම මීට පෙර ලිඛිතව දැනුම් දී තිබුණි.

එංගලන්ත වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැති එංගලන්ත ජාතික හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිචඩ් කේ. ෆර්මින් මහතා මේ රටේ කරනු ලබන හෘද සැත්කම්වලට සිය විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරෙන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව මීට පෙර දන්වා සිටින  ලදී.
 
මේ සම්බන්ධව කළ විමසුමකදි රෝහල් අධ්‍යක්ෂක ජයම්පති සේනානායක මහතා මෙසේද කියා සිටියේය. 

 “සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් මත තමයි මේ ගැන සොයා  බලන තෙක් එංගලන්ත ජාතික වෛද්‍යවරයා සිදුකිරිමට නියමිතව තිබූ සැත්කම්  තාවකාලිකව නතර කරන ලෙස ඉල්ලා මා  ලිපියක් නිකුත් කළේ. 

වෛද්‍ය සභාවෙන් කියනවා මෙම  විශේෂඥ වෛද්‍යවරයාට සැත්කම් කිරිම සඳහා අනුමැතිය ලබා දුන්නේ හොඳට සොයා බලා කියලා. 

ඒ නිසා යළි මේ ගැන පරික්ෂා කිරිමට අවශ්යද නොවන බව දැනුම් දුන්නා. 

ඒ අනුව මා මිට පෙර නිකුත් කළ ලිපිය ඉල්ලා අස්කර ගත්තා. යළි සැත්කම් කිරීමට අවසරය ලබා දුන්නා යැයි "ද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.