යුද්ධයෙන් විපතට පත් කිළිනොච්චියේ පවුල්වලට සතුටුදායක ආරංචියක්

යුද්ධයෙන් විපතට පත් කිළිනොච්චියේ පවුල්වලට සතුටුදායක ආරංචියක්

April 20, 2018   06:20 am



යුද්ධය හේතුවෙන් විපතට පත් වූ කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 44879 ක් අතරින්  තවත් පවුල් 14415 ක් යළි පදිංචි කරවීමේ මූලික  කටයුතුවලට යොමු කිරීමට සිටින බව කිළිනොච්චිය දිසාපති සුන්දරම් අරුමේනායගම් මහතා පවසයි.

කිළිනොච්චිය දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව අදහස් දැක්වූ දිසාපතිවරයා කියා සිටියේ එම වැසියන්ටත් යළි පදිංචි කළ නමුත් මෙතෙක් ස්ථිර නිවසක් හිමි නොවූ පවුල් වලටත් ලබා දීම සඳහා තවත් නිවාස 41846 ක් අවශ්‍ය බවය.

කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 44879 ක් යුද්ධය හේතුවෙන් විපතට පත්ව සිටියද ඔවුන්ගෙන් පවුල් 3033 කගේ නිවාසවලට හානි සිදු වී නොමැති නිසා ඔවුන්ට නිවාස ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව පැවසූ දිසාපතිවරයා පවුල් 26564 කට ස්ථිර නිවාස ලබා දී ඇති බවත් ඒවායින් 6179 ක වැඩ මුලුමනින්ම අවසන් වී ජනතාව එම නිවාස වල පදිංචි වී සිටින බවත් සඳහන් කරයි.

යුද්ධය හේතුවෙන් අවතැන්වූවන් සඳහා ඔවුන්ට අයත් ඉඩමක් නොතිබීම යළි පදිංචි කරවීමේ කටයුතු හා නිවාස ඉදිකිරීමේ කටයුතු ප්‍රමාද වීමට විශාල හේතුවක් බවද දිසාපතිවරයා  කියා සිටියේය.

යුද සමයේදී ඔවුන් පදිංචිව සිටි ඉඩම් වලින් විශාල ප්‍රමාණයක් ඔවුන්ට අයත් නොවී අනවසර පදිංචිකරුවන් ලෙස ජීවත් වී සිටි නමුත් ඔවුන්ට එම ඉඩම් අයිති නැති බව පිළිගැනීමට කිළිනොච්චියේ වැසියෝ අකැමති බවද දිසාපතිවරයා වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

මේ තත්ත්වය මත රජයෙන් ඉඩම් නොමැති ජනතාවට විකල්ප ඉඩම් ලබා දී ඔවුන්ව එම ඉඩම්වල පදිංචි කරවීමට තීරණය කොට ඇතත් විකල්ප ඉඩම් වලට යාමට ඔවුන් කිසිසේත්ම කැමැත්තක් නොදක්වන බවද  දිසාපතිවරයා මෙහිදී පැවසීය.