උතුරේ ගුරුවරුන්ට සිදුවූ අසාධාරණය ගැන රජය සමඟ සාකච්ඡා කරනවා

උතුරේ ගුරුවරුන්ට සිදුවූ අසාධාරණය ගැන රජය සමඟ සාකච්ඡා කරනවා

April 19, 2018   09:56 pm


උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ට ස්ථිර පත්වීම් ලබා දුන් අවස්ථාවේදී විශාල පිරිසකට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් රජය සමඟ සාකච්ඡා කොට යම් විසදුමක් ලබා දෙන බවට ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක ඩගල්ස් දේවානද්දා මන්ත්‍රීවරයා පොරොන්දු වී තිබේ.

උතුරේ ස්ථිර පත්වීම් නොලැබූ ස්වේච්ඡා ගුරුවරුන් පිරිසක් යාපනයේදී මන්ත්‍රීවරයා හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

උතුරේ රජයේ පාසල්වල ස්වේච්ඡා ගුරුවරුන් 686 දෙනෙකු සේවය කරන  අතර ඔවුන්ගෙන් 182 කට පසුගියදා  ස්ථිර පත්වීම් ලබා දී තිබුණි.

ස්ථිර පත්වීම් නොලද පිරිස අතර වසර දහයකට වඩා සේවය කළ ගුරුවරුන්ද සිටින අතර පත්වීම් ස්ථිර නොකිරීම හේතුවෙන් මුලතිව් තට්ටන්කුලම ප්‍රදේශයේ එක් ස්වේච්ඡා ගුරුවරියක් ගෙළ වැලලාගෙනද මිය ගොස් තිබුණි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කොට තිබුණේ  ස්ථිර පත්වීම් ලබා නොදුන් පිරිසගේ සහතික හා ලොග් සටහන් යළි පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන්ට ස්ථිර පත්වීම් ලබා දෙන බවය.

නමුත් උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ සංගමය කියා සිටින්නේ ප්‍රධාන අමාත්‍යවරයා ස්ථිර පත්වීම් අහිමි වූ පිරිසගේ සිත් සතුටු කිරීම සඳහා එම ප්‍රකාශය කළ බවයි.

වසර ගණනාවක් රජයේ පාසල්වල ස්වේච්ඡා ගුරු සේවයේ යෙදුණු සියලුම දෙනා අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඉල්ලා සිටින සියළුම සුදුසුකම් සපුරා ඇති නිසා ඔවුන්ගෙන් පිරිසක් ස්ථිර කොට තවත් පිරිසක් ස්ථිර නොකිරීම බලවත් අසාධාරණයක් යැයි උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ සංඟමය කියා සිටියි.