ජාතික සංවිධාන එකමුතුව ඒකාබද්ධය පතුරු ගසයි

ජාතික සංවිධාන එකමුතුව ඒකාබද්ධය පතුරු ගසයි

April 19, 2018   06:30 pm



පසුගිය දිනවල විවිධ බටහිර ජාතීන් ව්‍යවස්ථාව වෙනස් වීමට අවශ්‍ය බව පැවසූ බවත් ඒ සඳහා මේ ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම අවශ්‍ය බව පැවසූ අතර එය නවත්වන්නේ කෙසේ දැයි ඒකාබද්ධ විපක්ෂය විසින් ජනතාවට පැහැදිළි කළ යුතු බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

අවාසනාවකට ඒකාබද්ධ විපක්ෂය විසින් එම කාරණාව ඉටු නොවන බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා පැවසීය.

අද (19‍) කොළඹ පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් එතුමන් මේ බව පැවසීය.

ඉන්දියාව හා ඇමෙරිකාව එක්ව මෙහි පිටපත ලියන බවත් අනුර කුමාර දිසානායක මහතා විසින් මෙය රඟ දක්වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් භූමිකාවක් රඟ දක්වන  බව එම මාධ්‍ය හමුවට එක්වූ වසන්ත බණ්ඩාර මහතා පැවසීය.

මේ අතර බන්දුල ගුණවර්ධන මහතාගේ ඇතැම් ප්‍රකාශවලින් ඔහුටද මෙම නාට්‍යයේ චරිතයක් නිරූපනය කිරීමට අවස්ථාවක් ලැබී ඇත්දැයි සැකයක් මතුවන බව වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

අද වන විට පාර්ලිමේන්තුව ගැන කිසිඳු විශ්වාසයක් ජනතාවට නොමැති බවත් පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන්ගෙන් වැඩි පිරිසක් නූගත් පිරිසක් බව එම මාධ්‍ය හමුවට එක්වූ ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පැවසීය.

බෙදුම්වාදය දේශපාලනික වශයෙන් එදාටත් වඩා අද ප්‍රභල වී ඇති බවත් එවැනි වාතාවරණයක් තුළ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම රට තවත් අවුල් කිරීමත් බව එතුමන් පැවසීය.