මැයි 1 නිවාඩුව අවලංගුයි-මැයි 7 රජයේ හා බැංකු නිවාඩු දිනයක් වෙයි

මැයි 1 නිවාඩුව අවලංගුයි-මැයි 7 රජයේ හා බැංකු නිවාඩු දිනයක් වෙයි

April 19, 2018   04:04 pm

2018 මැයි 01 අඟහරුවාදා දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය අවලංගු කර ඇති අතර ඒ වෙනුවට මැයි දිනය සැමරීම සඳහා මැයි 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් බවට පත් වෙයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.

ජාතික වෙසක් සතිය 2018 අප්‍රේල් 26 දින සිට 2018 මැයි 02 වන දින දක්වා යෙදීම හේතුවෙන්, ලෝක කම්කරු දිනය වෙනුවෙන් 2018 මැයි 01 අඟහරුවාදා දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය අවලංගු කර ඇත.

ඒ වෙනුවට 1971 අංක 29 දරන නිවාඩු පනතේ 10 (1) (ආ) වගන්තියෙන් හා 11 (1) (ආ) වගන්තියෙන් තමා වෙත පැවරී ඇති බලතල අනුව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් 2018 අප්‍රේල් මස 06 වැනි දින ගැසට් පත්‍රය මඟින් මෙය ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව ලෝක කම්කරු දිනය සැමරීම සඳහා 2018 මැයි 01 අඟහරුවාදා දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය අවලංගු වෙයි. 

ඒ වෙනුවට 2018 මැයි දිනය සැමරීම සඳහා 2018 මැයි 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් බවට පත් වෙයි.

සෑම සේවායෝජකයකුම තමා යටතේ සේවයෙහි යොදවා ගෙන සිටින්නාවූ සියලූම කම්කරුවන්ට 1971 අංක 29 දරණ නිවාඩු පනත යටතේ සැලකෙන ආණ්ඩුවේ නිවාඩු දවස් පඩි සහිත නිවාඩු දින වශයෙන් දිය යුතු බව ද අදාළ නිවේදනයේ සඳහන් වෙයි.

මැයි දිනය ද එයින් එක් නිවාඩු දිනයක් වන අතර එබැවින් ඉහත වෙනස්කම වෙළෙඳ නිවාඩු උදෙසාද අදාළ වෙයි.