රට සංවර්ධන මාවත ඔස්සේ ඉදිරියට ගෙනයාමට කැපවන්න
April 19, 2018 03:36 pm
රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කර සහජීවනය ගොඩනඟා රට සංවර්ධන මාවත ඔස්සේ ඉදිරියට ගෙනයාම සඳහා කැපවන ලෙස ත්‍රිවිද හමුදාව ඇතුළු සියළුම රාජ්‍ය සේවකයන්ගෙන් තමා ඉල්ලා සිටින බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.
අලුත් අවුරුදු උදාවෙන් පසු චාරිත්‍රානුකූලව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කරමින් අද (19) අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සිංහල දමිළ අලුත් අවුරුද්ද සංහිඳියාව ගොඩනැඟීමේ කාර්ය සඳහා සුවිශේෂී උත්සවයක් බවයි.
රටපුරා මෙන්ම ලොවපුරා වෙසෙන ශ්‍රී ලාංකිකයින් සිංහල දමිළ අලුත් අවුරුද්ද නැකත් චාරිත්‍රානුකූලව මෙවරද ඉතා උත්කර්ෂවත් අයුරින් සැමරූ බව සඳහන් කළ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, එකිනෙකා අතර ගොඩනැඟුනු ශක්තිමත් සබඳතා ඇතුළු මනුෂ්‍යත්වය ආරක්ෂා කරමින් රටක් ලෙස සියළුදෙනා සමගිව දියුණුව කරා පියගැඟිය යුතු බව අවධාරණය කළේය.