මාස 7 හමාරකට පෙර සියදිවි හානි කරගත් අයෙකුගේ දේහය ගොඩ ගනියි-මරණය ගැන මවට සැකයි(ඡායාරූප සහිතයි)
April 19, 2018 12:03 pm
පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපවත්වා මීට මාස හතහමාරකට පෙර අනුරාධපුර, පෙරියම්කුලම් පොදු සුසාන භුමියේදී භූමදානය කළ ගෙල වැළලාගෙන සියදිවි හානි කරගත් පුද්ගලයෙකුගේ මළසිරුරක් අධිකරණ නියෝගය මත අනුරාධපුර පොලීසිය විසින් ගොඩගත් බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
ඊයේ(18) දහවල් මෙම මෘත දේහය ගොඩගැනීමේ කටයුතු අවසන් කළ බව අප වාර්තාකැරු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙලෙස ගොඩගෙන ඇත්තේ පසුගිය වසරේ අගෝස්තු මස 5වන දින භූමදානය කරන ලද අනුරාධපුර පැරණි නගරයේ පදිංචි සිසිර කුමාර බංඩාර නැමති සිවු දරු පියෙක් වන අතර මිය යන විට ඔහුගේ වයස අවුරුදු 46 ක් විය.
පසුගිය වසරේ අගෝස්තු මස 3 වන දින අළුයම 1.30ට පමණ සිය නිවස තුළදී ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගත් බව ඔහුගේ බිරිඳ සහ දරුවන් ප්‍රකාශ කළ ද, ඒ සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ මවට සැකයක් ඇති බැවින් ඒ සම්බන්ධව විදිමත් පරික්ෂණයක් පවත් වන ලෙස පොලිස්පතිවරයා ගෙන් ලිඛිත ඉල්ලීමක් කළ බව වාර්තා වෙයි.
අධිකරණ වෛද්‍යවරයෙකු විසින් නිසි මරණ පරික්ෂණක් නොපවත්වා මරණ පරික්ෂක වරයෙකු විසින් සිය පුතුගේ මරණ සියදිවි හානි කර ගැනීමක් ලෙස නිගමනය කිරීම සැක කටයුතු බව මව විසින් පොලිස්පතිවරයා වෙත යැවු ලිපියේ සඳහන්ය.
ඉන්පසු පොලිස්පතිවරයා විසින් බුද්ධි අංශ නිලධාරීන් යොදවා සිදු කළ පරික්ෂණවලින් පසු අනාවරණය කරගත් කරුණු මත මෙලෙස දේහය ගොඩ ගැනීමට සිදුව ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව ඊයේ(18) උදැසන දේහය ගොඩ ගැනීම ආරම්භ වු අතර අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ දනුෂ්ක රත්නායක මහතා හා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය එස්.එම්.එච්.එම්.කේ සේනානායක මහතාගේ අධික්ෂණය යටතේ ගොඩගෙන තිබේ.