මිරිස්ස වෙරළේ දී විදෙස් කතට අතවර කළ සැකකරුවන් 9 දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක

මිරිස්ස වෙරළේ දී විදෙස් කතට අතවර කළ සැකකරුවන් 9 දෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවක

April 19, 2018   11:28 am



පසුගිය අප්‍රේල් මස 8 වන දින අළුයම කාලයේ දී වැලිගම පොලිස් වසමේ මිරිස්ස වෙරළ තීරයේ දී විදේශීය පිරිමි පුද්ගලයින් කිහිප දෙනෙකුට පහර දී කාන්තාවකට ලිංගික අතවර කළ සැකකරුවන් 9 දෙනෙකු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැලිගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන සිදුකර සැකකරුවන් 6 දෙනෙකු අප්‍රේල් මස 13 වන දින අත්අඩංගුවට ගෙන අප්‍රේල් මස 14 වන දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව අද(19) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කර තවත් සැකකරුවන් තිදෙනෙකු අප්‍රේල් 17 වන දින අත්අඩංගුවට ගෙන අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, අද දින මෙම සියලූම සැකකරුවන් 9 දෙනා හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

මේ අතර අප්‍රේල් මස 15 දින වැලිගම පොලිස් වසමේ මිදිගම වෙරළ තීරයේ දී ඊශ්‍රායල් ජාතික පුද්ගලයින් 05 දෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් වැලිගම පොලිසිය මඟින් විමර්ශන සිදුකර අප්‍රේල් 17 වන දින සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මේ මස 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකර තවත් සැකකරුවන් තිදෙනෙකු ඊයේ(18) දින අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් වයස අවුරුදු 17, 18, 23 වයස්වල පසුවන මිදිගම, අහංගම, මිරිස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 26 වන දින හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.