මහ කන්නය සඳහා පොහොර නිසි වේලාවට

මහ කන්නය සඳහා පොහොර නිසි වේලාවට

April 19, 2018   06:31 am



එළැඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය රසායනික පොහොර ප්‍රමාදයකින් හෝ හිඟයකින් තොරව ලබාදීමට හැකියාව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.
 
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
 
ඒ අනුව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා වී වගාව සඳහා උපරිමය අක්කර 05ක් සඳහා වන ආකාරයෙන් කිලෝ 50ක පොහොර මිටියක් රුපියල් 500ක් වැනි මුදලකට ලබාදීමට කටයුතු කරන බවත් වෙනත් වගාවන් සඳහා සාමාන්‍ය වෙළෙඳපොළොන් රුපියල් 1500කට කිලෝ 50ක පොහොර මිටියන් ලබාගැනීමට හැකියාව ඇතැයි ද පෙන්වාදෙන අමාත්‍යවරයා වී වගාව සඳහා පොහොර ලබාදීමේ දී රජය විසින් රුපියල් 3000ක් ද, වෙනත් වගාවන් සඳහා 2000ක් ද වශයෙන් සහනාධාරයක් ලබාදීමට කටයුතු කොට ඇතැයි ද පෙන්වා දෙයි.
 
පසුගිය කාලයේ රුපියල් 500ක මිලට පොහොර ලබාදීමේ පොහොර සහනාධාරය ක්‍රියාත්මක කළ ආකාරයෙන් නොව පැවැති ක්‍රමය සරල කිරීමක් සිදු කොට ඇතැයි ද වංචාවක් කළ නොහැකි ආකාරයෙන් මෙන් ම පොහොර ලබාදීම සම්බන්ධයෙන් පසුවිපරම් කටයුතු සිදුකරන බවත් කී අමාත්‍යවරයා පොහොර වංචාවන් සම්බන්ධයෙන් රටේ නීතිය අනුව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් එවැනි පැමිණිලි ඇත්නම් 011 303 6666 ක්ෂණික දුරකථන අංකය අමතා තොරතුරු ලබාදීමට කටයුතු කරන බවත් කීය.
 
මේ වන විට ලංකාවේ සෑම පොහොර ගබඩාවකටම අවශ්‍ය තරම් පොහොර මේ වන විටත් යවා ඇතැයි ද එබැවින් ප්‍රමාදයකින් තොරව පොහොර ලබාදීමේ හැකියාව පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.