කේරළ ගංජා කිලෝග්‍රෑම්  37ක් මාට්ටු

කේරළ ගංජා කිලෝග්‍රෑම් 37ක් මාට්ටු

April 18, 2018   04:00 pm

කේරළ ගංජා කිලෝග්‍රෑම් 37 ක් යාපනය සිට පුත්තලම දක්වා ලොරි රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයින් තිදෙනකු අද (18) කිලිනොච්චිය, පුනරින් සංගුපිට්ටි පාලම අසලදී අත්අඩංගුවට ගත් බව පූනරින් පොලීසිය පවසයි.
                
පොලීසිය පැවසූවේ ලොරි රථයක සූක්ෂම ලෙස සඟවා මත්ද්‍රව්‍ය රැගෙන යන පිරිසක් පිළිබඳ පුනරින් පොලීසිය වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය. 
                
සැකකරුවන් යකඩ ප්‍රවාහනය කරන මුවාවෙන් කේරළ ගංජා තොගය ප්‍රවාහනය කොට ඇති අතර, අත්අඩංගුවට ගත් ගංජා තොගය රුපියල් ලක්ෂ 50 ක පමණ වටිනාකමින් යුතු බවද පොලීසිය පැවසීය.
                
පුත්තලම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ත් 24 ත් අතර වයසේ පසුවන පිරිසක් සිද්ධියට අත්අඩංගුවට ගත් බවද පොලීසිය සඳහන් කළේය.
 
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් යාපනය සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් සැකකරුවන් ගංජා මිලදී ගෙන පුත්තලම ප‍්‍රදේශයට රැගෙන යමින් සිට ඇති බවද පොලීසිය අනාවරණය කොටගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.