අවුරුදු සමයේ මාළුන්ට වෙච්ච දේ ඇමති කියයි
April 18, 2018 01:18 pm
ලංකා ධීවර සංස්ථාව නව අලුත් අවුරුදු සමයේ මත්ස්‍ය වර්ග කිහිපයක් සහන මිලට සැපයීමට පියවර ගැනීම නිසා වෙළෙඳපොලේ මත්ස්‍ය මිල ගණන් ඉහළ යාමට ඉඩ නොදී ස්ථාවරව තබා ගැනීමට හැකි වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අද(18) අමාත්‍යාංශයේ දී පැවැති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමෙන් අනතුරුව නව වසරේ රාජකාරි ඇරඹීම වෙනුවෙන් එම අමාත්‍යාංශයේ සේවක මණ්ඩල විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා ඇතුළු සියලුම නිලධාරින් සහභාගි වී සිටියහ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“පසුගිය වසර කිහිපය ගත්විට උත්සව සමයේ ඇතැම් වෙළෙදුන් විසින් මත්ස්‍ය මිල ගණන් ඉහළ නංවමින් මහජනතාව ගසා කන බව පෙනී ගියා.
එම නිසා වෙළෙඳ පොලේ මාළු මිළ ගණන් ඉහළ යාම පාලනය කිරීමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස මම ලංකා ධීවර සංස්ථාවට උපදෙස් දුන්නා.
ඒ අනුව වැඩිපුර පාරිභෝජනය කරන මත්ස්‍ය වර්ග 04ක් සහන මිලට ලබා දීමට අපි පියවර ගත්තා.
ඒ හේතුවෙන් පුද්ගලික අංශයේ වෙළෙඳුන්ටත් අපේ මිල ගණන්වලටම මාළු අලෙවි කරන්නට සිදුවුනා.
ඒ වගේම මෙවර උත්සව සමයේ ලංකා ධීවර සංස්ථාව වාර්තාගත ආදායමක් උපයා තිබෙන බව අපිට තොරතුරු ලැබී තිබෙනවා.
තවමත් උත්සව සමය අවසන්ව නැති නිසා එම ආදායම් තත්ත්වයන් ඉදිරියේ දී අපි ප්‍රකාශයට පත්කරනවා.
ලංකා ධීවර සංස්ථාව කියන්නේ වසා දැමීමට නියමිතව තිබු රජ්‍ය ආයතනයක්. සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතන කියන්නේ ලාභ ලැබිය හැකි ආයතන නොවන බවට මතයක් රටේ තිබෙනවා. රාජ්‍ය ආයතනයක් වශයෙන් පළමු වතාවට ලංකා ධීවර සංස්ථාව ලාබ උපයා සේවක පිරිස්වලට හිග වැටුප් මෙන්ම පාරිතෝෂික දීමනාත් ලබා දුන්නා. ඒ වගේම දැන් එම සංස්ථාවේ ඉළක්කය ස්ථාවර ගිනුමක් පවත්වාගෙන යාම මගින් එම සංස්ථාව ස්ථාවර මට්ටමට ගෙන ඒමයි.