වී තොග ගබඩා කරන්න රුපියල් මිලියන දෙසීයක වියදමකින් ගබඩා සංකීර්ණයක්

වී තොග ගබඩා කරන්න රුපියල් මිලියන දෙසීයක වියදමකින් ගබඩා සංකීර්ණයක්

April 18, 2018   01:00 pm





මුලතිව් දිස්ත්‍රික්කයේ වැසියන්ගෙන් මිලට ගන්නා වී තොග ගබඩා කිරීමට වී අලෙවි මණ්ඩලය මුලතිව් ඔඩ්ඩිසුඩාන් ප්‍රදේශයේ රුපියල් මිලියන දෙසීයක වියදමකින් ගබඩා සංකීර්ණයක් ඉදිකොට ඇතත් මෙවර එම ගබඩාවට ප්‍රමාණවත් අන්දමට වී තොග නොලැබුණු බව මුලතිව් දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයෝ කියා සිටිති.

මුලතිව් දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් වී තොග මිලට ගැනීමේදී වී අලෙවි මණ්ඩලය විසින් ගෙවන ලද මිල ගණන් වලට වඩා වැඩි මිලක් ගොවීන්ගේ කුඹුරු වෙතම පැමිණ වී මිලට ගත් පෞද්ගලික වෙළෙන්ඳන් විසින් ගෙවීම නිසා මෙවර වී අලෙවි මණ්ඩලයට ඉතා සුළු වී ප්‍රමාණයක් පමණක් ලැබුණු බව මුලතිව් ගොවි සංවිධාන කියා සිටියි.

මුලතිව්  පළාතේ ගොවියන් අස්වැන්න නෙළීම යන්ත්‍රානුසාරයෙන් සිදු කළ  නිසා එම වී තොගවල ජල සංයුතිය ඉහළ අගයක තිබීමත්, අපද්‍රව්‍ය කලවම් වී තිබීමද ඉහළ මට්ටමක තිබීමත් නිසා  වී අලෙවි මණ්ඩලයේ පරීක්ෂණවලදී මුලතිව් ගොවීන්ගේ වී තොග ප්‍රතික්ෂේප වූ බවද ගොවි සංවිධාන කියා සිටියි.

එක් ගොවියෙකුගෙන් වී කිලෝ ග්‍රෑම් දෙදහසක් පමණක් එක් අවස්ථාවකදී වී අලෙවි මණ්ඩලය  මිලට ගනු ලබන බවට ඉදිරිපත් කළ කොන්දේසියක් නිසාද වී අලෙවි මණ්ඩලයට වී විකිණීමට මුලතිව් ගොවියෝ මැලි වූ බව එම ගොවි සංවිධාන වැඩි දුරටත් පෙන්වා දෙයි.