වන අලින් ගම් වැදිලා-වැසියන්ගෙන් චෝදනා

වන අලින් ගම් වැදිලා-වැසියන්ගෙන් චෝදනා

April 18, 2018   06:32 am



මුලතිව් විශ්වමඩු ප්‍රදේශයට කඩා වැදුණු වන අලින් රංචුවක් එම ගම්මානයේ වැසියන්ගේ වගාවන්වලට හානි කොට පාළුවට ගිය නිවසක්ද කඩා දමා තිබේ.

වන අලි රංචුව මුලතිව් විශ්වමඩු ගම්මානයේ වැසියන්ගේ කෙසෙල් හා පොල් වගාවන්ට බරපතළ ලෙස හානි සිදුකොට ඇත.

රාත්‍රී කාලයේදී අට දෙනෙකුගෙන් පමණ සමන්විත වන අලින් රංචුවක් මේ ගම්මානයට කඩා වැදී ඇති අතර වන අලින් එලවා දැමීමට ගම් වැසියන් සූදානම් වූ අවස්ථාවේදී එක් අලියෙකු තරුණයෙකුට පහරදීම සඳහා එලවා ඇතත් එම තරුණයා රාත්‍රීයේම විශාල ගසකට ගොඩ වීමෙන් වන අලි ප්‍රහාරයෙන් බේරී ඇත.

මාර්තු මාසයේදීද දින දෙකක් මේ අන්දමටම මුලතිව් විශ්වමඩු ගම්මානයට වන අලින්ගෙන් විශාල හානියක් සිදු වී ඇති අතර ඒ අවස්ථාවේදී ගම්වැසියෝ වන ජීවී නිලධාරීන්ට මේ පිළිබදව දැනුම් දී තිබේ.

වන අලින් පලවා හැරීමට අලි වෙඩි හෝ ලබා දෙන ලෙස ඒ අවස්ථාවේදී විශ්වමඩු ගම්මානයේ වැසියෝ ඉල්ලීමක් කොට ඇතත්  වන ජීවී නිලධාරීන් පොරොන්දු වී ඇත්තේ වන අලි රංචුව ඈත කැළයට පලවා හැරීම පිණිස ඔවුන් පැමිණෙන බවයි.

වන ජීවී නිලධාරීන් පැමිණ වන අලින් පලවා හැරීමට කටයුටු නොකිරීමත්,වැසියන්ට අලි වෙඩි ලබා නොදීමත් නිසා විශ්ව මඩු ගම්මානයේ වැසියන්ගේ වගා වලට හානි සිදුව තිබේ.

මේ දිනවල මුලතිව් පළාතට බලපා ඇති දැඩි නියඟය නිසා බීමට වතුර නොමැතිකමින් වන අලින් රංචු පිටින් බීමට ජලය සොයා ගම් වදින බව විශ්වමඩු ගම්මනයේ වැසියෝ කියා සිටිති.