පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛයේ සංශෝධන කිහිපයක්

පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛයේ සංශෝධන කිහිපයක්

April 17, 2018   10:06 pm



පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛයේ සංශෝධන කිහිපයක් සිදු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අවධානය යොමුව තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීමේදී එම ළමුන් තෝරා ගැනීමට අදාළ තොරතුරු විනිවිදභාවයකින් යුක්තව ජනතාවට අනාවරණය කිරීමට පියවර ගන්නා ලෙසද අකිල විරාජ් කාරියවසම් අමත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා තිබේ.

2019 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුළත් කර ගැනීමේ චක්‍රලේඛය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ලකුණු ලබාදීමේ ක්‍රවේද හා තෝරා ගත් දරුවන් පදිංචිව සිටින ස්ථාන පිළිබඳ විස්තර මෙන්ම පුද්ගලිකත්වයට ගැටළුවක් ඇති නොවන දරුවන්ගේ සුදුසුකම් සම්බන්ධ සියලු තොරතුරු ප්‍රසිද්ධ කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි අමාත්‍යවරයා දැනුම් දී ඇත.

සිසුන් ඇතුළත් කර ගැනීමේදී සිදුවන දූෂණ සහ අක්‍රමිකතා වැලැක්වීමේ අරමුණින් අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන් බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

මීට අමතරව ව්‍යාජ ලෙස සකස් කරන ලද ලේඛන යොදා ගනිමින් දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා ඇතැම් මව්පියන් කටයුතු කිරීම හේතුවෙන් නිසි සුදුසුකම් සපුරන ලද පාසල් අවට ජීවත් වන දරුවන්ට සිදුවන අසාධාරණයන් පිළිබඳ ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්ව තිබේ.