පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ වැඩපිළිවෙළක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විශේෂ වැඩපිළිවෙළක්

April 17, 2018   09:18 pm




එළඹෙන වෙසක් සහ පොසොන් පොහොය නිමිත්තෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ඉදිරියේදී බෞද්ධ ආගමික වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක වන බැවින් අටපිරිකර සහ බෞද්ධ කොඩි සඳහා විශාල ඉල්ලුමක් නිර්මාණය වන අතර එවැනි අවස්ථාවලදී කූඨ වෙළෙන්ඳන් විසින් ඒවා ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කර අලෙවි කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බව එම අධිකාරිය පවසයි.

මේ හේතුවෙන් එවැනි වෙළෙන්ඳන් සොයා වැටලීම් සිදුකර ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික අධිකාරිය තීරණය කර තිබේ.

අටපිරිකර නිෂ්පාදකයින් හා වෙළෙඳුන් සිය ආයතනය බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතු අතර ඒවා අලෙවිය සඳහා ඉදිරිපත් කිරීමේදී එහි උපරිම සිල්ලර මිල, නිෂ්පාදකයාගේ හෝ ආනයනකරුගේ ලිපිනය හා දුරකථන අංකය මෙන්ම නිෂ්පාදිත දිනය ඇතුළු තොරතුරු සදහන් කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

නිසි ප්‍රමිතියකින් තොරව ඒවා අලෙවි කරන වෙළෙන්ඳන් පිළිබද තොරතුරු 1977 හෝ 011 7 755 481 යන දුරකථන අංකය වෙත දැනුම් දෙන ලෙස ද පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.