ක්‍රීඩා උපකරණයක සඟවා ගෙනා ලක්ෂ 14 ක හෂිස් රේගුවට හසුවු හැටි

ක්‍රීඩා උපකරණයක සඟවා ගෙනා ලක්ෂ 14 ක හෂිස් රේගුවට හසුවු හැටි

April 17, 2018   06:30 pm

ක්‍රීඩා උපකරණයක් තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා මෙරට නිදහස් මාධ්‍යවේදියකු වෙත ස්පාඤ්ඤයේ සිට එවා තිබූ හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ, ගුවන් බඩු පාර්සල් අංශයේ දී අද(17) දහවල් රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.

මොහු කොළඹ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි නිදහස් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරනෙකි. 

ඔහුට ස්පාඤ්ඤයේ සිටින මිතුරෙකු විසින් ත්‍යාගයක් ලෙස Sketeboardහෙවත් ළමුන් හිම මත සහ ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල වේගයෙන් ඇදී යන රෝද සහිත උපකරණයක් එවා තිබුණි.
 
එම උපකරණය ගලවා , එහි මැද කොටසේ ඉතා සූක්ෂම ලෙස මෙම හෂීස් තොගය සඟවා තිබී ඇත.

මෙහි හෂීස් කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 400 ක් සඟවා තිබූ අතර, ඒවායේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 14 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම මාධ්‍යවේදීයා අද දහවල් 12.30 ට පමණ මෙම ත්‍යාග පාර්සලය රැගෙන යෑම සඳහා, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ ගුවන් භාණ්ඩ පාර්සල් අංශයට පැමිණ සිටියදී, නියෝජ්‍ය රේගු අධිකාරී රුවන් කුමාර අල්විස් මහතා විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය සහ නිදහස් මාධ්‍යවේදියා, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ප්‍රීති ගාල්ලගේ සහ කේ.එච්.පී.කුමාරසිරි යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, රේගු අධිකාරීවරුන් වන චන්න ශාන්තප්‍රිය සහ ලාල් ද සිල්වා යන මහත්වරුන් විසින් අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති.