හාම්පුතා වෙඩි තබා මරා දැමූ ලංකාවේ ගෘහ සේවිකාවගේ මළ සිරුර ගුවනින් මෙරටට ගෙනෙයි
April 17, 2018 05:43 pm
සිය හාම්පුතා විසින් වෙඩි තබා මරා දමා තිබූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගේ මළ සිරුරක් අද(17) දින උදෑසන සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
මෙසේ මිය ගොස් ඇත්තේ ගාල්ල , වදුරඹ ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි ප්‍රියන්තා ජයසේකර නැමති කාන්තාවක්.
ඇයගේ මළ සිරුර උදෑසන 6.15 ට සෞදි අරාබියේ රියාද් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. -226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
ඇය තම හාම්පුතා විසින් ඉකුත් මාර්තු මස වෙඩි තබා , ඝාතනය කර, ඔහු ද වෙඩි තබා ගෙන ඇතැයි මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය පවසයි.
මෙම මළ සිරුර භාර ගැනීමට පැමිණ සිටි, ඇයගේ ඥාතීන් මෙම මරණය පිළිබඳව තමන්ට සැකයක් ඇති වී ඇති බැවින්, පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙස කටුනායක ගුවන් තොටුපොළ පොලිසියෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ, මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් සිදු කරන ලෙස නියෝග කළ බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය.
කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනූෂ රූපසිංහ මහතාගේ උපදෙස් මත , ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව අවශ්‍ය පරීක්ෂණ පවත්වමින් සිටිති.