රෙජිනෝල්ඩ් කුරේ යළි ඉපදිලා
April 17, 2018 03:18 pm
උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය දරණ සමයේ තමන් ආරම්භ කළ මහජන සේවාවන් අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව යළිත් වරක් එම ධුරයට පත්කෙරුණු රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.
උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (17) වැඩ භාරගනිමින් ඔහු මේ බව සඳහන් කළේය.
උතුරු පළාත් ආණ්ඩුකාර ධුරය දැරූ රෙජිනෝල්ඩ් කුරේ මහතා පසුගිය 12 වැනිදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දුන් අතර ඊට පසු දින යළිත් වරක් උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දුන්නේය.
ඒ අනූව රෙජිනෝල්ඩ් කුරේ මහතා අද යළිත් ආණ්ඩුකාර කාර්යාලයේදී එම ධුරයේ වැඩ භාරගත්තේය.
උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස තමා නැවත වතාවක් දිවුරම් දීම නිසා යළි ඉපදුන බවක් හැඟී යන බව ද එම අවස්ථාවට එක් වෙමින් රෙජිනෝල්ඩ් කුරේ මහතා සඳහන් කළේය.
මහජන සේවය හා සමාජ සුහදත්වය ඉදිරියටත් ගෙන යන බවත් එය අතරමඟ නතර වෙනු ඇතැයි සිතා තමා පසුතැවුණු බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දී පැය 24 ක් ඇතුළත ජනාධිපතිවරයා නැවතත් තමාට උතුරු පළාත ලබා දුන් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
සිංහල පුද්ගලයෙකු වු තමාට මෙම පළාතෙන් හිමි වූ ආදරය හා සුහදතාවය කිසිදා අමතක නොකරන බව ද ආණ්ඩුකාරවරයා කියා සිටියේය.