ආණ්ඩුවේ තවත් ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක්

ආණ්ඩුවේ තවත් ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක්

April 17, 2018   02:16 pm



ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් පසුව ඇතිවූ දේශපාලන අර්බුදය හමුවේ ජාතික ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරු 16 දෙනෙක්  ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂයේ අසුන් ගැනීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් දැනට පවතින දේශපාලන වාතාවරණය සම්බන්ධයෙන් අද දෙරණ සමඟ අදහස් දැක්වූ ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ අමාත්‍යවරයෙකු සඳහන් කළේ ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසක් විපක්ෂයේ අසුන් ගැනීමට සූදානමක් පවතින බවයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් 16 දෙනාගේ ඉවත් වීම් හේතුවෙන් ජාතික ආණ්ඩුව ශක්තිමත් වූ බවයි.