දෙඇසම අන්ධ වු 58 හැවිරිදි කතක් වසර 18 කට පසුව සෞදියෙන් ලංකාවට එවයි-ගෙදර යද්දි ස්වාමියා වෙනත් විවාහයක් කරගෙන
April 17, 2018 11:22 am
දෙඇසම අන්ධ වූ 58 හැවිරිදි ගෘහ සේවිකාවක් උඩ ඇඳුමක් පමණක් අන්දවා සෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාවට එවා තිබූ බව කටුනායක ගුවන් තොටුපොළ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශිකාවක පැවසීය.
පසුගිය අප්‍රේල් මස 13 වන දින ඇය මෙලෙස එවා ඇති අතර ඇය කුරුණෑගල , පිලැස්ස , මඩව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වූ දුරයලාගේ ඤාණවතී නැමති ගෘහ සේවිකාවයි.
ඇය වසර 18 ක් එක දිගට සෞදි අරාබියේ ගෘහ සේවයේ යෙදී සිට ඇති අතර , එම කාළය තුළ ඇය ඉතිරි කරගත් හෝ උපයා ගත් කිසිවක් නොමැතිව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිට මෙරටට එවා තිබුණි.
එහිදී ඇයට අබායා නැමති උඩු කය ඇඳුමක් පමණක් අන්දවා ශ්‍රී ලංකාවට එවීමට සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පියවර ගෙන තිබීම කනගාටුදායක පිළිකුල් සහගත ක්‍රියාවක් බව එම ප්‍රකාශිකාව පැවසුවාය.
පසුව ඇයට අවශ්‍ය ඇදුම් සියල්ලම කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබා දීමට කටයුතු කර තිබුණි.
මේ අතර ඇයගේ සැමියා විසින් 2005 වසරේ දී ඇය පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති නිසා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හමුවේ පැමිණිළි කර තිබූ අතර , ඒ පිළිබඳව විදේශ සේවා කාර්යාංශය යැවූ ලිපිවලට , ඔහු ඉදිරිපත් කර තිබූ ලිපිනයට ලිපි යොමු කළද , ඒවාට පිළිතුරු නොලැබීම නිසා , ඒ පිළිබඳව ලිපි ගොනුව එම වසරේදීම වසා දැමීමට කටයුතු කර තිබුණි.
මෙම ගෘහ සේවිකාව ඉකුත් 13 වන දින උදෑසන 10.20 ට පමණ සෞදි අරාබියේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 266 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.
මෙම ගෘහ සේවිකාව ඇයගේ නිවසටම ඇරලවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කළ අතර , එහිදී ඇයගේ ස්වාමි පුරුෂයා වෙනත් කාන්තාවක විවාහ කරගෙන සිටි අතර , ඇයගේ දුව සහ පුතා සමාජීය වශයෙන් ව්‍යසනයට පත් වී සිටියහ.
එනිසා මෙම ගෘහ සේවිකාව අසල්වැසි ඥාතියෙකු වෙත භාර දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිස පියවර ගෙන තිබුණි.