මහින්දානන්දට ඇප

මහින්දානන්දට ඇප

April 17, 2018   10:46 am

ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම නිසා රිමාන්ඩ් ගත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(17) දින අවශ්‍ය  කොන්දේසි සපුරාලීමෙන් පසුව ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

2014 වසරේ ක්‍රීඩා අමාත්‍ය වරයා ලෙස කටයුතු කරමින් ක්‍රීඩා දෙපාර්තමෙන්තුව සදහා කැරම් බෝඩ් සහ දාම් ලෑලි මිලදී ගැනීමේදී රුපියල් මිලියන 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධියකට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් අත් අඩංගුවට ගත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ට ඇප නියම කිරීමේදී ඔහුගෙ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් ඇප කොන්දේසියක් පනවනු ලදී.

එහෙත් සැකකරුගෙ විදේශ ගමන් බලපත්‍රය කොළඹ මහාධිකරණය භාරයේ රදවා ඇති බවට ඔහුගේ නීතිඥවරු අධිකරණයට කරුණු ඉදිරිපත් කළත් ඒ බව තහවුරු කෙරෙන ලියකියවිලි අධිකරණය හමුවේ ඉදිරිපත් නොකිරීම නිසා සැකකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා රිමාන්ඩ් භාරයේ තැබීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කර තිබුණි.

එහෙත් අද දින අදාළ  ලියවිලි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකාර මහින්දානන්ද අලුත්ගමගේ ඇප මත මුදාහැරීමට නියෝග කර තිබේ.

සැකකරුට  නැවත මැයි මස 11 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියම කෙරිණි.