වලිකාමම් ප්‍රදේශයේ ඉඩම්වල ඇති දැව හා යකඩ හොරකමක්

වලිකාමම් ප්‍රදේශයේ ඉඩම්වල ඇති දැව හා යකඩ හොරකමක්

April 17, 2018   09:26 am



යුද හමුදාව විසින් යාපනයේ වලිකාමම් ඇතුළු ප්‍රදේශ කීපයක වැසියන්ට ලබා දුන් ඉඩම්වල ඇති දැව හා යකඩ මේ දිනවල සංවිධානාත්මක පිරිසක් විසින් හොරකම් කරන බවට ඉඩම් හිමියන් පිරිසක් තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් වරයාට පැමිණිලි කොට තිබේ.

එම පළාතේ ඉඩම් අක්කර 683 ක් යුද හමුදාව විසින් ඒවායෙහි අයිතිකරුවන්ට බාර දී ඇතත් ඔවුන් තවමත් පදිංචිව සිටින්නේ වෙනත් ස්ථානවල හා අනාථ කඳවුරුවලය.

යුද හමුදාව විසින් පරිහරණය කළ ඉඩම් ඒවායෙහි අයිතිකරුවන්ට බාරදීමෙන් පසුව යුද හමුදාව එම ප්‍රදේශයෙන් ඉවත් වීමත් සමඟම ඉඩම්වල ඇති දැව හා නිවෙස් වල ඉතිරි වූ භාණ්ඩ හොරකම් කිරීමේ සංවිධානාත්මක පිරිසක් එම පලාතට කඩා වැදී ඇතැයි එහි වැසියෝ ප්‍රාදේශීය ලේකම්වරයාට පැමිණිලි කොට ඇත.

යුද සමයේදී මේ ගම්මානවල වැසියෝ නිවෙස් අතහැර ගිය අවස්ථාවේදී භාණ්ඩ හා උපකරණද  යන්ත්‍ර සූත්‍රද විශාල ප්‍රමාණයක් නිවෙස්වලම දමා ගොස් තිබේ.

ඒවා සියල්ලම යුද්ධයට හසු වූ සුන්බුන් බවට පත්ව ඇති අතර එම ද්‍රව්‍ය යකඩවලට අලෙවි කිරීම සඳහා සංවිධානාත්මක හොර කණ්ඩායම ඒවා හොරකම් කිරීමට පටන් ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසීය

තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම්වරයා මේ බව පොලීසියට දැණුම් දී ඇති අතර එම ඉඩම්වලට අයිතිකරුවන්ට හැර වෙනත් අයට ඇතුළුවීමට ඉඩ නොදෙන මෙන් පළාතේ ග්‍රාම නිලධාරීන්ට දැණුම් දී ඒ සම්බන්ධයෙන් වූ නිවේදන කීපයක්ද ඉඩම් ඉදිරිපිට අලවා තිබේ.