කාරක සභා රැසක් අහෝසියි

කාරක සභා රැසක් අහෝසියි

April 16, 2018   07:16 pm



පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමත් සමඟ පොදු ව්‍යාපාර කාරක සභාව, රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව, උපදේශක කාරක සභාව, ස්ථාවර කාරක සභාව, විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභාව  ඇතුළු කාරක සභා රැසක් අහෝසි වී තිබේ. 

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබූ පනත් කෙටුම්පත් සහ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ද අහෝසි වන බවයි.

නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමෙන් පසුව එම පනත් කෙටුම්පත් සහ යෝජනා නැවත සකස් කර යළි  න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට හැකියාව පවතින බව නීල් ඉද්දවල මහතා සඳහන් කළේය.

08 වැනි පාර්ලිමේන්තුවේ පළමු  සැසිවාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 12 වනදා අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබීය.

ඒ අනුව යළි පාර්ලිමේන්තුව මැයි මස 08 වන දින කැඳවීමට නියමිතය.

කෙසේ වෙතත් ආංශික අධීක්ෂණ කාරක සභාව, උසස් නිළතල පිළිබඳ කාරක සභාව සහ විශේෂ කාරක සභා අහෝසිවීමක් සිදු නොවන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.