එජාපෙට 2020 දක්වා තනි ආණ්ඩුවක් ගෙනි යන්න ශක්තිය තියෙනවා

එජාපෙට 2020 දක්වා තනි ආණ්ඩුවක් ගෙනි යන්න ශක්තිය තියෙනවා

April 16, 2018   05:25 pm

එක්සත් ජාතික පෙරමුණට 2020 වසර දක්වා ආණ්ඩුවක් පවත්වා ගෙන යාමට අවශ්‍ය ශක්තිය පවතින බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පවතින දේශපාලන අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වනු ඇති බවට එල්ල වන විවේචනවලට ප්‍රතිචාර දක්වමින්ය.

මේ අතර හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය මත එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් පවත්වාගෙන යාමට ඉඩදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම වඩා සුදුසු බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිඇමතිවරුන් 16 දෙනෙකු ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුරවලින් ඉවත්වීමත් සමග ඉදිරියේදී ජාතික ආණ්ඩුව නියෝජනය කරන ආකාරය සහ එළඹෙන ගිවිසුම් පිළිබඳව තීරණය කිරීම සඳහා අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පසුගියදා පියවර ගත්තේය.

ඒ අනුව මතුව ඇති තත්ත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කර පොදු වැඩසටහනකට යාම සඳහා මේ වන විටත් මූලික ලේඛනයක් සකස් කරමින් සිටින බවයි එම කමිටු සභාපති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කළේ.

ඉදිරි මාස 18 ක කාලය සඳහා ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යා හැකි ආකාරය සම්බන්ධයෙන් එහි යෝජනා ඇතුළත් වන අතර බ්‍රිතාන්‍ය සංචාරය නිමවා ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණි පසු එය ජනාධිපතිවරයා වෙත භාර දීමට නියමිතව තිබේ.

මේ අතර අදාළ කමිටුවේ සාමාජිකයෙකු ද වන එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ පැවති දුර්වලතා නිවැරදි කරගනිමින් ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනයාම පිළිබඳව එම කමිටුවේදී අවධානය යොමුව ඇති බවයි.

කෙසේවෙතත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දෙන්නේ කමිටු ස්ථාපිත කිරීමෙන් සිදු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් එක්සත් ජාතික පක්ෂය යටතට පත් කිරීම පමණක් බවයි.

මේ අතර ඉදිරියේදී විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසන්නේ එක්සත් ජාතික පක්ෂයට තනි ආණ්ඩුවක් පවත්වාගෙන යාමට ඉඩදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම වඩා සුදුසු බවයි.