නීති විරෝධි ජාවාරමක් උකුසු ඇසට

නීති විරෝධි ජාවාරමක් උකුසු ඇසට

March 26, 2018   11:41 am

නීති විරෝධී ජාවාරම් සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා අවස්ථා රැසකදී රට හමුවේ අනාවරණ කර තිබේ.

අද උකුස්සාගේ අනාවරණය තවත් එවැනිම නීති විරෝධී ජාවාරමක් නීතියේ රැහැනට හසුකරගත් ආකාරය පිළිබඳවයි.

මදනමෝදක ඖෂධයක් වශයෙන් භාවිතා කළද මේවන විට විෂ හරණය නොකළ ගංජා භාවිතා කරමින් මදනමෝදක නිපදවා නීති විරෝධීව අලෙවිකරන ස්ථානයක් පිළිබඳව මිද්දෙණිය ප්‍රදේශයෙන් ලද තොරතුරකට අනුව සුරාබදු විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් සමඟින් අද දෙරණ උකුස්සා රහසිගතව එම ප්‍රදේශයට ළඟා විය.

ඒ අනුව එහි ගිය උකුස්සා පළමුව සුරාබදු නිලධාරීන් සමඟින් මදනමෝදක ඖෂධ නිපදවන ස්ථානය පරීක්ෂා කරනු ලැබීය.

එහි හිමිකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වුණේ මෙම ස්ථානය සඳහා නිකුත් කළ බලපත්‍රයේ කාලය නිමා වී ඇති අතර මෙම ස්ථානයේ කලකට පෙර ගංජා අලෙවි කිරීම හේතුවෙන් මොහු සිරගත වී සිටි අයකු බවයි.

අනතුරුව ජාවාරම්කරුගේ නිවස පිහිටි භූමියෙහි සඟවා තිබූ ගංජා තොගයක් සොයා ගත් අතර තවත් ගංජා තොගයක් ඔහුගේ ඉඩමක සඟවා තිබන බවට සුරාබදු නිලධාරීන් එහිදී අනාවරණ කරගනු ලැබීය.

පසුව ඔහුගේ ඉඩමේ රහසිගතව බැරල් තුළ සඟවා තිබූ ගංජා තොගයක් සොයා ගනු ලැබුවේය.

මෙහිදී ගංජා කිලෝ 17ක් සහ මදන මෝදක මිශ්‍රන කිලෝ 08ක් සොයාගත් අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 10කට ආසන්නයි.