රනිල් වික්‍රමසිංහ නැමැති කොඩිවිනය කපන්න අප්‍රේල්  4 වැනිදා අපි හැමෝම එකතු වෙමු

රනිල් වික්‍රමසිංහ නැමැති කොඩිවිනය කපන්න අප්‍රේල් 4 වැනිදා අපි හැමෝම එකතු වෙමු

March 24, 2018   11:33 pm



මහ බැංකු අධිපති ධූරයේ සිට අර්ජුන් මහේන්ද්‍රන් සිදු කළ හොරකම් දැන් සිංගප්පූරුවේ සිට ඔහුට කිරීමට හැකියාව ලැබෙන නීතිමය රාමුව හදන්න ඔහුගේ ගජමිතුරු අගමැති රනිල් වික්‍රමසිංහ සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත ගෙන ආ බවත් මේ ටයි-කෝට් හොරුන්ගේ ‘කොඩිවිනය’ කැපීමට අප්‍රේල් 04 වැනිදා රටට හිතැති සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කටයුතු කරනු ඇති බවත් විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ(23) පාර්ලිමේන්තුවේ පැවති සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.

“රජයට ණය ගැනීමේදී ඉන් අයථා ලෙස ඉපැයීම් සිදු කළා, මුදල් මංකොල්ලකෑවා කියා ඉතිහාසයේ පළමුවරට චෝදනාවක් එල්ල වුණේ මේ ආණ්ඩුවට. වෙනත් ආණ්ඩුවලට චෝදනා තිබුණේ රජයේ මුදල් වියදම් කිරීමේදී යම් යම් අක්‍රමිකතා, සොරකම් කළා කියා පමණයි. රාජ්‍ය ණය ගැනීමේදී අයුතු ලෙස යම් කණ්ඩායමක් ලාභ ඉපැයුවා කියා ප්‍රථමවරට චෝදනා එල්ල වුණේ සිද්ධිගත මහ බැංකු බැඳුම්කර හොරකමේදීයි.

ශ්‍රී ලංකාවේ මහ බැංකු සොරකමට මුල් වූ සිංගප්පූරු පුරවැසියා අද ඒ රටට වෙලා සුව සේ ඉන්නවා. මෙරට අධිකරණවලින් වරෙන්තු නිකුත් කළාට වැඩක් නැහැ. ජාත්‍යන්තර පොලීසියට සිංගප්පූරුවට ඇතුළු වී මේ හොරාව කුදලාගෙන ඒමට නීතිමය ප්‍රතිපාදන නැහැ. ඒ මහා හොරකමට එරෙහිව මේ රටේ ජනතාව, එහි මහ මොළකරු ඇතුළු එක්සත් ජාතික පක්‍ෂයට පැවැති පළාත් පාලන මැතිවරණයේදී නිර්දය ප්‍රතිචාරයක් ලබා දුන්නා. එජාප ඡන්ද ප්‍රතිශතය 29% දක්වා පහත දැම්මා.

අර්ජුන් මහේන්ද්‍රන්ට, එයා මහ බැංකුවේ ඉඳන් දීපු ගේම දැන් සිංගප්පූරුවේ ඉඳන්ම දෙන්න අවශ්‍ය නීතිමය රාමුව තමයි මේ සක්‍රීය බැරකම් කළමනාකරණ පනතින් හදන්න සූදානම් වෙන්නේ. නීති වෙනස් කර ගෙන, අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ තියාගෙන අලුත් වටේකින් රාජ්‍ය ණයවලින් හොරකම් කරන්න කැහැපොට ගහන රනිල් වික්‍රමසිංහ නැමැති ‘කොඩිවිනය’ කපන්න අප්‍රේල් 04 වැනිදාට අපි හැමෝම එකතු වෙමු!‘‘