නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ 2ක් ට්‍රැක්ටර් 2ක් සමඟ පොලිස් දැලේ

නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ 2ක් ට්‍රැක්ටර් 2ක් සමඟ පොලිස් දැලේ

March 24, 2018   08:43 pm


වැල්ලවාය පොලීසිය විසින් වැල්ලවාය වෙහෙරයාය සහ මාලේවන යාය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කිරිදි ඔය රක්ෂිතයෙන් නීති විරෝධීව වැලි පටවා ප්‍රවාහනය කරමින් තිබූ වැලි ට්‍රැක්ටර් දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් කිරිදි ඔය රක්ෂිතයේ සිට ඇතිලිවැව ප්‍රදේශය දක්වා මෙලෙස වැලි ප්‍රවාහනය කරමින් සිට ඇති අතර සැකකරුවන් දීර්ඝකාලයක සිට මෙම ජාවාරමේ නිරත වී ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි සහ තිස් නව හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු බව පොලීසිය පවසන අතර මෙම සැකකරුවන් කිරිදි ඔය රක්ෂිතය ආශ්‍රිතව සහ ප්‍රදේශයේ වෙනත් රක්ෂිත ආශ්‍රිතව වැලි ජාවාරම ජයටම පවත්වාගෙන යන පුද්ගලයන් බව මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ වැලි ට්‍රැක්ටර් හෙට(25)වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවාය පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරයි.