පාසල් ළමුන් ගොඳුරු බවට පත් කරන මත්පෙති වර්ගයක් උකුස්සාට හසුවෙයි

පාසල් ළමුන් ගොඳුරු බවට පත් කරන මත්පෙති වර්ගයක් උකුස්සාට හසුවෙයි

March 23, 2018   09:03 am

රටේ තරුණ පරපුරට වින කටින අයිස් නමැති මත්ද්‍රව්‍ය සහ මෙතෙක් හඳුනානොගත් මත් පෙති වර්ගයක් නීතිය රැහැනට හසුකර දීමට අද දෙරණ උකුස්සාට හැකි විය.

උකුස්සාගේ අද අනාවරණය ඒ පිළිබඳවයි.

මත්ලෝලීන් අතර ප්‍රචලිත මෙත් ඇම්පතමීන් හෙවත් අයිස් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරමක් වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයක ඉතා සූක්ෂ්ම ලෙස කරගෙන යන බවට ලද තොරතුරකට අනුව අද දෙරණ උකුස්සා වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමඟ එක්ව මෙහෙයුමක් සිදු කළේය.

ඒ පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ මෙහෙයවීම ඇතිවයි.

එහිදී සිදුකළ මූලික සොයාබැලීම්වලදී අනාවරණ වුණේ පාසල් ළමුන් සහ ධනවත් පවුල්වල ළමුන් ඉලක්ක කර ගනිමින් මොවුන් විසින් මෙම ජාවාරම සිදුකරන බවයි.

ඒ අනුව දිගු කළක් අවේෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව වත්තල ප්‍රෙද්ශයේ සුපිරි හෝටලයක හිමිකරුවෙකු විසින් ඉතා සූක්ෂ්ම ලෙස මෙම ජාවාරම සිදුකරන බවට ආනාවරණ කර ගැනීමෙන් අනතුරුව එම ස්ථානය වැටලීම සඳහා අද දෙරණ උකුස්සා එම ස්ථානයට රහසේ ළඟාවන්නේ වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ද සමඟින්.

එහිදී මෙම ජාවාරම සිදුකරන ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිදු කළ සෝදිසියේදී මෙත් ඇම්පතමීන් හෙවත් අයිස් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03ක් සොයා ගනු ලැබුවා.

එහි සිටි තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ඔහු සතුව තිබී මෙතෙක් හඳුනා නොගත් මත්පෙති 450ක් සොයා ගත්තේය.

සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ කොලොන්නාව ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු මොවුන් සමඟ එක්ව මෙම ජාවාරම සිදුකරන බවයි.

වැඩිදුර විමර්ශනවලදී  ආමර්වීදිය ප්‍රදේශයේ ද මෙම ජාවාරම් ජාලයේ තවත් පුද්ගලයෙකු සිටින බව හෙළි වූ අතර ඔහුව ද අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ සෝදිසියේදී තවත් අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14ක් සහ හෑෂ් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක්ද සොයාගනු ලැබීය.

මෙහිදී ජාවාරම්කරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් වයස අවුරුදු 23ට වඩා අඩු අයවලුන් වීම විශේෂත්වයක්.

මෙහිදී අත්අඩංගුවට ගත් අයිස් නැමති මත්ච්‍රව්‍ය සහ මත්පෙතිවල වටිනාකම රුපියල් ලක්ෂ 05ට අධිකයි.

රටේ අනාගතය වන තරුණ කොටස්වලට වින කටින මෙවැනි ජාවාරම් රටට අනාවරණ කිරීමට අද දෙරණ උකුස්සා සීරුවෙන්.