හෙඳ සේවාවේ ගැටලුවලට සෞඛ්‍ය ඇමතිගෙන් විසදුම්

හෙඳ සේවාවේ ගැටලුවලට සෞඛ්‍ය ඇමතිගෙන් විසදුම්

March 23, 2018   06:03 am



හෙඳ සේවාව මුහුණ දී ඇති ගැටලු 17 ක් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවත්වා තිබේ.

මෙහිදී හෙඳ සේවාව දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කිරීම, විවිධ දීමනා ඉහළ නැංවීම, හෙද සේවාවට ගෙවනු ලබන සුවිශේෂි දීමනාව ඉහළ නැංවීම ඇතුළු ගැටලු 17 ක් සාකච්ඡාවට බදුන් විය.

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හෙඳ කාර්ය මණ්ඩලයේ වැටුප් ප්‍රමාදවීම පිළිබඳ ගැටලුව සාකච්ඡා කළ අතර, එම හෙද කාර්ය මණ්ඩලයේ ලිපිගොනු කඩිනමින් සකස් කර වැටුප් ගෙවන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝග කර තිබේ.

මෑතකදී උසස්වීම් ලැබූ ඡ්‍යෙෂ්ඨ හෙඳ නිලධාරින් සහ මාණ්ඩලික හෙඳ හෙදියන්ගේ සේවා ස්ථාන ලබාදීමෙන් පසු මතුව ඇති ගැටලු පිළිබඳව ද සාකච්ඡා කිරීමට තීරණය කරන ලදි.

ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (හෙද) එම්.බී.එල් රහුමාන් මහතාට නියෝග කර ඇත.

තවද හෙඳ විදුහල්වල විදුහල්පතිවරුන්ට නිල රථයක් ලබාදීමට ද තීරණය කළ ඇති අතර හෙද විද්‍යාල 05 ක් සදහා බස් රථ ලබාදීමට ද තීරණය කර තිබේ.

හෙඳ ආචාර්යවරුන්ගේ ඉගැන්වීමේ දීමනාව ඉහළ නැංවීමට ද යෝජනා කෙරුනි.

මෙම අවස්ථාවට රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද මෙම අවස්ථාවට ඒක්ව සිටිය.