ඉස්ලාම්බාද් නුවර ගුවන්තොටුපළේදී ජනපති උණුසුම්ව පිළිගනී

ඉස්ලාම්බාද් නුවර ගුවන්තොටුපළේදී ජනපති උණුසුම්ව පිළිගනී

March 22, 2018   09:41 pm

පාකිස්ථාන ජනරජ දින සැමරුම් උළෙලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවීමට පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමාගෙන් ලද විශේෂ නිල ආරාධනය පරිදි පාකිස්ථානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද(22) රාති‍්‍ර 8.00 ට පමණ ඉස්ලාම්බාද් නුවර නූර් ඛාන් ගුවන් තොටුපොළ වෙත ළගා වී තිබේ.

පාකිස්ථාන ජනාධිපති මම්නුන් හුසේන් මැතිතුමා විසින් එහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ආචාර වෙඩිමුර 21 සහිත හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් සහ ගෞරවණීය අන්දමින් එම පිළිගැනීම සිදුවු බව ජානාධිපති මාධ්‍ය අංශය පවසයි.

පාකිස්ථාන ජන රජ දින සැමරුම් උළෙල හෙට(23) පෙරවරුවේ පැවැත්වෙන අතර එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වන ශ‍්‍රී ලංකා ජනාධිපතිතුමා ඉහළම ගෞරවයෙන් යුතුව පිළිගැනීමට පාකිස්ථාන රජය සියලු කටයුතු සූදානම් කර තිබේ.

පැය 03 කට ආසන්න කාලයක් පැවැත්වෙන මෙම උළෙල පාකිස්ථානයේ මෙන්ම විවිධ රටවල හමුදාවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ගුවන් සංදර්ශන ඇතුළු සංස්කෘතිකාංගවලින් වර්ණවත් කෙරේ.

මේ අතර ප‍්‍රතිසංස්කරණය කෙරුණු ඉස්ලාම්බාද් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නැවත විවෘත කිරීම ද හෙට පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවෙයි. 

නේපාලය, ඉන්දියාව, මියන්මාරය, කොරියාව, ජපානය, තායිලන්තය, ඉන්දුනිසියාව, චීනය සහ මැලේසියාව යන බෞද්ධාගම සහිත රටවල තානාපතිවරු සහ මහකොමසාරිස්වරු ද මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.

ජනාධිපතිතුමා සහ පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි මහතා අතර නිල හමුව ද හෙට පස්වරුවේ පැවැත්වෙන අතර නායකයින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරට අතර අධ්‍යාපන, තරුණ කටයුතු සහ සංචාරක ක්ෂේත‍්‍රවලට අදාළ අවබෝධතා ගිවිසුම් 04 කට අත්සන් තැබෙනු ඇත.