ඉරණවිල දරුවා ඝාතනය කළ සැකකරු විනිසුරු ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් ලබාදෙයි

ඉරණවිල දරුවා ඝාතනය කළ සැකකරු විනිසුරු ඉදිරියේ රහසිගත ප්‍රකාශයක් ලබාදෙයි

March 22, 2018   06:38 pm



හලාවත - ඉරණවිල පදිංචිව සිටි සුසිත් නිර්මාල් (අවු:11) දරුවාට බරපතළ  ලිංගික අපරාධයක් සිදු කර ඔහුව ඝාතනය කළ බව කියන සැකකරු 22 වැනිදා සවස හලාවත දිසා විනිසුරු මංජුල රත්නායක මහතාගේ නිල මැදිරියේදී රහසිගත ප්‍රකාශයක් ලබදී තිබේ.

දිසා විනිසුරුවරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ හලාවත - වැල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි 52 හැවිරිදි දෙදරු පියෙකුවය.

පසුගිය මස 25 වැනිදා පෙරවරුවේ සිට අතුරුදහන්වී සිටි සුසිත් නිර්මාල් දරුවාගේ මළ සිරුර 27 වැනිදා පෙරවරුවේ ඉරණවිල - සමිදුගමට ආසන්න කැලෑවක තිබී පොලීසිය සහ ගම්වාසීන් විසින් සොයා ගෙන තිබිණි.

එම ස්ථානයට පැමිණි හලාවත අතිරේක දිසා විනිසුරු රඛිත පී.අබේසිංහ මහතා විසින් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන ලද අතර,හලාවත මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය  නිලධාරී ඩී.කේ.විජේවර්ධන මහතා විසින් ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කරන ලදි.

පසුව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් හලාවත මහා රෝහලේදී ඝාතනයට ලක්වූ දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන ලද අතර දරුවා මරණයට පත්ව ඇත්තේ හිසට එල්ල වූ ප්‍රහාරයකින් බවත්,මරණය සිදු වීමට පෙර බරපතළ ලිංගික අපයෝජනයක් සිදුවී ඇති බවටද එහිදී නිගමනය විය.

මෙම ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරු පසුගිය 03 වැනිදා මුලතිව් ප්‍රදේශයේ ධීවර වාඩියක සැගවී සිටින විට නාවුක හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මුලතිව් පොලීසියට බාර දීමට කටයුතු කළේය.

පසුව සැකකරුව හලාවත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මුලතිව් පොලීසිය වෙත ගොස් බාර ගෙන තිබුණි.

සැකකරුව 05 වැනිදා දහවල් හලාවත මහේස්ත්‍රාත් රඛිත පී.අබේසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.  

08 වැනිදා බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුව හලාවත දිසා විනිසුරු මංජුල රත්නායක මහතා වෙත ඉදිරිපත් කරන ලද අතර නමුත් හදුනා ගැනීමේ පෙරට්ටුව සදහා සාක්ෂිකරුවන් දෙදෙනෙකු පැමිණ නොසිටීම නිසා 22 වැනිදා තෙක් සැකකරුව නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දිසා විනිසුරුවරයා නියම කරන ලදි.

තමන්ට පාපොච්චාරනයක් කිරීමට ඇති බව එදින සැකකරු දිසා විනිසුරුවරයා හමුවේ පවසා ඇති අතර ඒ අනුව 22 වැනිදා දිසා විනිසුරුවරයාගේ නිල මැදිරියේදී සැකකරු විසින් රහසිගත පාපොච්චාරණයක් සිදු කරන ලද අතර මෙම අවස්ථාවට නීතිඥයින් හෝ පොලිස් නිලධාරීන්ද බාහිර කිසිඳු පාර්වයකට සහභාගි නොවීය.

22 වැනිදාද හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙකු පැමිණ සිටි නමුත් එක් සාක්ෂිකරුවෙකු පැමිණ සිටියේ නැත.ඒ අනුව සැකකරුව ලබන මස 05 වැනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එදිනට හදුනා ගැනීමේ පෙරට්ටුව පවත්වන ලෙසත් දිසා විනිසුරුවරයා නියෝග කර තිබේ.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ හිලරි ප්‍රසන්න ප්රනනාන්දු මහතා සහ වින්ධ්‍යා පෙරමුණ මෙනවිය අධිකරණය හමුවේ පෙනී සිටි අතර,හලාවත පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ උප පොලිස් පරීක්ෂක ගාමිණී වික්‍රමසිංහ මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.විත්තිකරු වෙනුවෙන් කිසිදු නීතිඥයෙකු පෙනී නොසිටියේය.