ගෝඨාභයගේ තහනම් නියෝගය 27 දක්වා දිගුවෙයි

ගෝඨාභයගේ තහනම් නියෝගය 27 දක්වා දිගුවෙයි

March 22, 2018   05:19 pm




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වලක්වාලමින් පනවා ඇති තහනම් නියෝගය ලබන 27 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද යළි කැඳවූ අවස්ථාවේ එම නියෝගය ලබාදුන් බව අද දෙරණ අධිකරණ වාර්තානකරු පැවසුවේය.

ඩි.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිමේදී රුපියල් මිලියන 83ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොණු කර ඇති සහතිකය තමා රිමාන්ඩ් බාරයට පත් කිරීමේ අරමුණින් සිදු කරන ලද්දක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සමින් පෙන්වා දී තිබේ.

පොදු දේපල පනත යටතේ තමාට එරෙහිව පියවර ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු නොමැති බව පවසන ගෝඨාභය රාජපක්ෂ මහතා එම සහතිකය නීති විරෝධී බව සඳහන් කර ඇත.