විරෝධතාවක් හේතුවෙන් හේකිත්ත මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණ හිටියි

විරෝධතාවක් හේතුවෙන් හේකිත්ත මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණ හිටියි

March 21, 2018   04:08 pm


වත්තල ක්‍රිස්තුරාජ මහා විද්‍යාලයේ මව්පියන් හා ආදි සිසුන් ගෙන ගිය විරෝධතාවක් හේතුවෙන් අද(21) පෙරවරුවේ පැය දෙකකට ආසන්න කාලයක් වත්තල - හේකිත්ත 260 ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණ හිට ඇත.

අප වාර්තාකරු ප්‍රකාශ කළේ පාසලට අයත් භූමියක් සම්බන්ධයෙන් වූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙම විරෝධතාව පැවති බවයි.

වත්තල ක්‍රිස්තුරාජ මහා විද්‍යාලයට අයත් භූමියක, පෞද්ගලික සංවිධානයක් විසින් අක්ෂි රෝහලක් පවත්වාගෙන යාම හේතුවෙන්, විද්‍යාලීය දරුවන්ට අයත් භූමිය ඔවුන්ට අහිමිව ගොස් ඇති බව පෙන්වා දෙමින්, අද එම විද්‍යාලයේ මව්පියන් හා ආදිසිසුන් මෙලෙස විරෝධතාවයේ නිරත වී තිබේ.

2002 වර්ෂයේ සිට පවත්වාගෙන යන මෙම අක්ෂි රෝහල නිසා දරුවන්ට අධ්‍යාපන කටයුතු සිදුකිරීමට ඇති ගොඩනැගිලක් පවා අහිමිව ගොස් ඇති බව විරෝධතාකරුවන් පෙන්වා දෙයි.

වත්තල - හේකිත්ත ප්‍රධාන මාර්ගය අවහිර වන අයුරින් පැය දෙකකට ආසන්න කාලයක් පැවති විරෝධතාව හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයටද බාදා එල්ල විය.

විරෝධතාකරුවන් පවසන්නේ වත්තල ක්‍රිස්තුරාජ විද්‍යාලයට අයත් භූමිය නැවත ලබාදෙන ලෙස බලධාරීන් දැනුවත් කර තිබුනද මෙතෙක් නිසි විසඳුමක් නොලැබුනු බවයි.