දැවැන්ත පාරිසරික හානියක් සිදු කරන ගල් කොරි කීපයක් කඳුළුගල රක්ෂිතයෙන්

දැවැන්ත පාරිසරික හානියක් සිදු කරන ගල් කොරි කීපයක් කඳුළුගල රක්ෂිතයෙන්

March 20, 2018   04:03 pm

දැවැන්ත පාරිසරික හානියක් මෙන්ම ජනජීවිතයට දැඩි බලපෑමක් එල්ලකරමින් සිදුකරන මහාපරිමාණ ගල්කොරි කිහිපයක් තිස්සමහාරාම කඳුළුගල රක්ෂිතය තුළ පවත්වාගෙන යන බවට ලද තොරතුරකට අනුව අද දෙරණ උකුස්සා ඒ පිළිබඳව සොයාබැලීම සදහා රහසිගතව එම ප්‍රදේශයට ඇතුළු විය.

ඒ අනුව එහි ගිය උකුස්සාට දැකගත හැකිවූයේ කඳුළුගල රක්ෂිතය ගල්කැඩීමේ ජාවාරම්කරුවන් විසින් විනාශ කර දමා ඇති ආකාරයයි.

තිස්සමහාරාම බෙරලිගල ප්‍රදේශයට යාබදව පිහිටා ඇති මෙම කඳුළුගල රක්ෂිතයට කඳුළුගල යනුවෙන් නම පටබැදී ඇත්තේ මේ විශාල ගල් පර්වතයෙන් නොකඩවා සෑම දිනකම ජලය ගලායාම හේතුකොට ගෙනයි.

කෙසේ වෙතත් මෙම ගල් කොරිය ආරම්භ කළ දිනයේ පටන් කදුළුගලෙන් ජලය ගලා ඒම ද නතර වී තිබේ.

මෙම ස්භාවික වනාන්තරය මෙලෙස විනාශ කරන්නේ වන සංරක්ෂණ ආඥා පනත යටතේ මෙය රක්ෂිත වනානාන්තරයක් බවට ගැසට් පත්‍රයකින්ද ප්‍රකාශයට පත් කර ඇති පසුබිමකයි.

අද දෙරණ උකුස්සාට තවදුරටත් තොරතුරු අනාවරණ වුණේ මෙම ගල්කොරිය බලපත්‍ර කොන්දේසි ද කඩ කරමින් පවත්වාගෙන බවටයි.

බලපත්‍ර කොන්දේසිවලට අනුව බෝරවලවල් විදීම සඳහා එක් ජැක්හැමර් යන්ත්‍රයක් භාවිත කළයුතු වුවද මෙහි එම යන්ත්‍ර කිහිපයක් භාවිතයට ගන්නා ආකාරය දක්නට ලැබේ.

කැනීම් කටයුතු පරිසර හානිය අවම වන ආකාරයට සිදු කළ යුතු වුවද මේ වනවිට කදුළු ගල ආශ්‍රිත සියලු ජල මූලාශ්‍ර සිදී යමින් පවතින බව වාර්තා වෙයි.

ඊට කදිම නිදසුනක් වන්නේ ප්‍රදේශවාසීන් සිය ගොවිතැන් කටයුතුවලට ජලය ලබාගන්නා කදුළුගල පසෙකින් පිහිටා ඇති මෙම වැවෙහි ජලය  ක්‍රම ක්‍රමයෙන් හිදී යමින් පැවතීමයි.

මෙහි වැදගත්ම කාරණයක් වන්නේ කැණීම් ආරම්භ කිරීමට ප්‍රථම මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිකුත් කරනු ලබන පාරිසරික බලපත්‍රය ලබාගත යුතුවුවත් මෙම ගල්කොරියට එවැනි කිසිදු පාරිසරික බලපත්‍රයක් නොමැති වීමයි.

මේ පිළිබදව අද දෙරණ උකුස්සා මධ්‍යම පරිසර අධිකාරියේ බලධාරියෙකුගෙන් විමසීමක් කර සිටියේය.

එහිදී අපට අනාවරණ වුණේ අදාළ ගල්කොරියට පතල් කැණීම් බලපත්‍රයක් හෝ නොමැති බැවින් කිසිසේත් මෙම රක්ෂිතයතුළ ගල්කොරියක් පවත්වාගෙන යා නොහැකි බවයි.

මෙවැනි විශාල පාරිසරික හානියක් වසර ගණනාවක සිට සිදුවෙද්දී බලධාරීන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන්නේ ඇයි....?

මේ සම්බන්ධයෙන් අද දෙරණ උකුස්සා අවධානයෙන්.