මානව හිමිකම්  37 වන සැසිවාරයට යන මෙරට නියෝජිත පිරිස අද දිවයිනෙන් පිටත්ව යයි

මානව හිමිකම් 37 වන සැසිවාරයට යන මෙරට නියෝජිත පිරිස අද දිවයිනෙන් පිටත්ව යයි

March 19, 2018   07:55 am



‍එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරයට සහභාගීවිම සඳහා මෙරට නියෝජිත පිරිස අද (19) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ විශේෂ කාර්යය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ඇතුළු කණ්ඩායමක් ජිනීවා බලා පිටත්ව යන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 37 වන සැසිවාරය පසුගිය පෙබරවාරි මස 26 වනදා ආරම්භ වූ අතර එය මාර්තු මස 23 වනදා දක්වා පැවැත්වේ.

ඒ අනුව එළඹෙන 21 වනදා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ඔහුගේ වාර්තාව ඉදිරිපත් කිරිමට නියමිතය.

මෙම වාර්තාවට ප්‍රථම වාර්තාවක් ඉදිරිපත් කරමින් මානව හිමිකම් කොමිසාරිස්වරයා පවසා සිටියේ මෙරට වගවීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමක් කළ යුතු බවයි.

කෙසේවෙතත් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා අදහස්  දැක්වීමට නියමිතව තිබේ.

මේ අතර මෙරට විශ්ව කාලාන්තර සමාලෝචනය පිළිබඳ වාර්තාව අද දිනයේ සම්මත කර ගැනිමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

සෑම වසර 05කට වරක්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193හිම මානව හිමිකම් තත්ත්වය කාලාන්තර වශයෙන් සාමාලෝචනය කරන ක්‍රියාවලිය විශ්ව කාලාන්තර සාමාලෝචනය ලෙස හදුන්වනු ලබයි.

2007 වසරේදී මෙම විශ්ව කාලාන්තර සාමාලෝචනය හදුන්වාදී ඇති අතර මේ දක්වා පූර්ණ සාමාලෝචන වට දෙකක් පවත්වා තිබේ.