සත්‍යලිංගම් අලි වැටක් ඉල්ලයි

සත්‍යලිංගම් අලි වැටක් ඉල්ලයි

March 13, 2018   09:34 pm



වවුනියාවේ - නෙඩුන්කේණි ප්‍රදේශය ආරක්ෂා වන අන්දමට වහාම අලි වැටක් ලබා දෙන මෙන් උතුරු පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී.සත්‍යලිංගම් වෛද්‍යවරයා වනජීවී අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් ඉල්ලා තිබේ.

වවුනියාවේ මහකච්චකොඩිය,බෝගස්වැව ආදී වූ සිංහල ගම්මානද මැදිවන අන්දමට අලි වැටක් ඉදිකොට නෙඩුන්කේනි ප්‍රදේශය වන අලින්ගෙන් බේරාගැනීමට කටයුතු කරණ මෙන් හිටපු අමාත්‍යවරයා කල ඉල්ලීමේ සඳහන් වෙයි.

2017 වර්ෂයේදී මේ කලාපයේ පුද්ගලයින් තුන්දෙනෙකු වන අලින්ගේ ප්‍රහාරයන්ට ලක්ව මියගිය බවත් පුද්ගලයින් 11 දෙනෙකු ආබාධිත හා තුවාල ලැබූ තත්ත්වයන්ට පත් වූ බවත් පෙන්වා දෙන සත්‍යලිංගම් වෛද්‍යවරයා ඊට අමතරව එම පළාතේ ගොවීන්ගේ වගා හා දේපල විශාල ප්‍රමාණයකට වන අලින් විසින් හානි සිදු කොට ඇති බවද පෙන්වා දී තිබේ.

මේ පළාත්වල  වැසියන්  වන අලින්ගෙන් සිදුවන හානි පිළිබඳව වනජීවී නිලධාරීන්ට කොතරම් කරුණු ඉදිරිපත් කළද ඉන් ඔවුන්ට සහනයක් නොලැබෙන බව පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා අවම වශයෙන් මේ පළාත්වල ගොවීන්ට වන අලින් පලවා හැරීම පිණිස අලිවෙඩි ලබාදීමවත් සිදු නොවන බව සඳහන් කොට තිබේ.