ශී‍්‍ර ලංකාව තුළ ස්ථීරසාර සාමයක් උදාකරලීමට ජනාධිපතිගේ කැපවීම ඉතා විශිෂ්ටයි

ශී‍්‍ර ලංකාව තුළ ස්ථීරසාර සාමයක් උදාකරලීමට ජනාධිපතිගේ කැපවීම ඉතා විශිෂ්ටයි

March 13, 2018   07:56 pm


ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ජපානයේ පිහිටි ශ‍්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානවල නායක හිමිවරුන් අතර හමුවක් අද (13)ටෝකියෝ නුවරදී පැවැත්විණි.

බෞද්ධාගමික ප‍්‍රචාරය වෙනුවෙන් ජපානයේ සිට උන්වහන්සේලා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී පළමුව සිය ගෞරවය පුද කළ ජනාධිපතිවරයා, උන්වහන්සේලා හමුවීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව ද සිය සතුට පළ කළේය.

තරුණ පරපුරට අපේ යහපත් සංස්කෘතික වටිනාකම් අවබෝධකර දෙමින් ශ‍්‍රී ලාංකික දරු පරපුර යහපත් සහ සදාචාරවත් පරපුරක් ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාවය පැහැදිළි කළ ජනාධිපතිතුමා එහිදී ආගමික නායකයින්ට සුවිශේෂි කාර්යභාරයක් පැවරෙන බව ද කියා සිටියේය.

ඉන් අනතුරුව මුස්ලිම් ආගමික නායකයින් ඇතුළු පිරිසක් ද ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී ජනාධිපතිවරයා හමුවිය.

ඔවුන් එහිදී කියා සිටියේ කවුරුන් කුමන චෝදනා නැගුව ද ශී‍්‍ර ලංකාව තුළ ස්ථීරසාර සාමයක් උදාකරලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ කැපවීම ඉතා විශිෂ්ට බවත් එම වැඩපිළිවෙළට උපරිම ශක්තියක් වීමට තමන් සූදානම් බවත්ය. 

පසුගියදා මහනුවර ප‍්‍රදේශයේ සිදුවූ සිදුවීම් පිළිබඳව  මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ සියලූ ජන කොටස් අතර සාමය සහ සහෝදරත්වය ගොඩනැගීමට පුළුල් වැඩකොටසක් ඉටුකරන මෙම අවස්ථාවේ ඉතා සුළු පිරිසක් විසින් ඇතිකළ එම නොසන්සුන්තාවය පිළිබඳ බෙහෙවින් කනගාටු වන බවයි.

මෙහිදී අදහස් දැක්වූ නියෝජිත පිරිස කියා සිටියේ 2015 ජනවාරි 08 වනදා ජාති, ආගම් බේදයකින් තොරව සියලූම ශ‍්‍රී ලාංකිකයින් එක්ව මෛතී‍්‍රපාල සිරිසේන මහතාව රාජ්‍ය නායකත්වයට පත්කර ගත්තේ, සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ මහත් අපේක්ෂාවන් පෙරදැරිව බවයි.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, මලික් සමරවික‍්‍රම, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන් ද මෙම අවස්ථාවන්ට සහභාගී වී තිබේ.