මේ වසරේ ගත වූ මාස 2 තුළ ළමා අපයෝජන සිද්ධීන් 1532ක්

මේ වසරේ ගත වූ මාස 2 තුළ ළමා අපයෝජන සිද්ධීන් 1532ක්

March 13, 2018   04:12 pm





මේ වසරේ ගත වූ මාස 02 තුළ පමණක් ළමා අපයෝජන සිද්ධීන් 1532 ක් සිය කාර්යාංශයට වාර්තා වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

කායික, මානසික, ලිංගික හා නොසලකාහැරීම් ආදිය සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරියේ 1929 දරන දුරකථන අංකයට මෙම පැමිණිලි ලැබී ඇති බව සඳහන්ය.

වාර්තා වූ පැමිණිලිවලින් වැඩිම සංඛ්යාවක් ළමුන් කායික හා මානසික වශයෙන් කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි බව ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය පැවසුවේය.

මීට අමතරව ලිංගික අපයෝජන, අනිවාර්ය අධ්‍යාපනය ලබා නොදීම, ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීම යනාදිය සම්බන්ධයෙන්ද පැමිණිලි වැඩි වශයෙන් ලැබී ඇති බව සභාපතිනිය සඳහන් කළේය.

වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, රත්නපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර වරදකරුවන්ට උපරිම දඩුවම් ලබා දීමට කටයුතු කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මරිනි ද ලිවේරා මහත්මිය පැවසුවේය.