පුහුණු වීම්වලට සහභාගී නොවුණාට ගුරුවරයෙකු පහර දී සිසුවිය රෝහලේ

පුහුණු වීම්වලට සහභාගී නොවුණාට ගුරුවරයෙකු පහර දී සිසුවිය රෝහලේ

February 23, 2018   05:51 pm

පාසල් පුහුණු වීම් සඳහා සහභාගී නොවුණ බැවින් මාවතුර- නයාපාන මහ විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ පාසල් සිසුවියකට එම පාසලේ ගුරුවරයෙකු විසින් පහර දීම නිසා රෝහල් ගත කර තිබේ.

ගුරුවරයාගේ පහර දීමෙන් මෙම සිසුවියගේ කන් බෙරය පුපුරා ගොස් ඇති බව වෛද්‍යවරු පවසා ඇත.

ශිෂ්‍යාව දැල් පන්දු ක්‍රීඩාවට සහභාගී වීමට එදින අසනීප තත්ත්වයක් හේතුවෙන් නොපැමිණ ඇති අතර ඒ බව ගුරුවරයාට දැනුම් දීමේ දී මෙම පහර දීම සිදුව තිබේ.

මේ වන විට ඇය ගම්පොළ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මෙම සිදුවීම පසුගිය 19  වන දින සිදුව ඇති අතර මෙතෙක් මේ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් පාසල මඟින් හෝ පොලීසිය මඟින් ගෙන නොමැති වීම නිසා අද (23) දින පහර කෑමට ලක් වු සිසුවියගේ දෙමව්පියන් හා ප්‍රදේශවාසීන් විරෝධතාවයක නියැලී සිටියේය.

විරෝධතාවය අතර තුරදී පහර දීම සිදු කළ ගුරුවරයාට හිතවත් පිරිසක් පැමිණ විරෝධතාකරුවන්ට හා අද දෙරණ ප්‍රාදේශීය වාර්තාකරුට තර්ජනය කළ බව ද වාර්තා වෙයි.

අසාධාරණයට ලක් වු සිසුවියට සාධාරණයක් ඉටු කර දෙන ලෙස බලධාරීන්ගෙන් විරෝධතාකරුවන් ඉල්ලීමක් කරයි.

පුස්සැල්ලාව හා ගම්පොළ පොලීසිය ඇති වු නොසන්සුන්තාවය යථා තත්ත්වය පත් කර තිබේ.