අබුඩාබිහි සිටින රැදවියන් හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා ගැනීමට පියවර

අබුඩාබිහි සිටින රැදවියන් හැකි ඉක්මනින් ලංකාවට ගෙන්වා ගැනීමට පියවර

February 20, 2018   07:59 am

අබුඩාබිහි සුරක්ෂා නිවාසවල රැදි සිටින රැදවියන් හැකි ඉක්මනින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය අබුඩාබි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

ඩුබායි සංචාරයේ දී සුරක්ෂා නිවාසවල රැදි සිටින රැදවියන්ගේ ගැටලු සොයා බැලීමෙන් අනතුරුව අමාත්‍යවරිය මෙම උපදෙස් ලබා දී ඇති බව විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කළේය.

අබුඩාබි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසයේ මේ වන විට ශ‍්‍රමිකයින් අට දෙනෙකු සිටින බව සඳහන් වෙයි.

ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජයක් ලෙස උපරිම මැදිහත්වීම සිදුකරන අතර ඒ සඳහා ඕනෑම පහසුකමක් ලබාදීමට මැදිහත් වන බව තලතා අතුකෝරාල අමාත්‍යවරිය පවසා තිබේ.

නිවැරදි නීති රීති අනුව විදෙස් ගත වන ලෙසත් සංචාරක වීසා මත රැකියාවක් සඳහා විදෙස් ගත නොවන ලෙසත් ව්‍යාජ තොරතුරු සපයමින් විදෙස් රැකියා සඳහා යොමු නොවන ලෙසත් අමාත්‍යවරිය ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.