රන් මාල කොල්ල කාලා ගාල්ලේ මුදලාලිට විකුණලා

රන් මාල කොල්ල කාලා ගාල්ලේ මුදලාලිට විකුණලා

February 18, 2018   04:17 pm




ප්‍රදේශ රැසක සිදුවූ යතුරුපැදි සහ රන් මාල කොල්ලකෑම්වලට සම්බන්ධ පුද්ගලයෙකු දික්වැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රන්මාලයක් කොල්ලකෑම සම්බන්ධයෙන් කාන්තාවකගෙන් දික්වැල්ල පොලීසියට ලද පැමිණිල්ලක් මත සී.සී.ටී.වී.දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනයකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

උණවටුන, මහරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකරන ලද යතුරුපැදි සහ රන්මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබේ.

මොහු සමඟ තවත් කණ්ඩායමක් මෙම කොල්ලකෑම්වල නිරත වී ඇති අතර ඔවුන්ට එරෙහිව අක්මීමන, පෝද්දල, ගාල්ල, උඩුගම, නුවර, නුගේගොඩ, ඇල්පිටිය, බලපිටිය, මාතර, ගම්පහ, හෝමාගම, කළුතර සහ හබරාදූව යන පොලිස් ස්ථානවල අපරාධ නඩු රැසක් පවතින බව සඳහන්ය.

ඔවුන් විසින් කොල්ලකන ලද රන්මාල ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව එම ව්‍යාපාරිකයා ද අත්අඩංගුවට ගැනීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.