නිශ්ශංක සේනාධිපතිගේ - පාලිත ප්‍රනාන්දුගේ රට ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

නිශ්ශංක සේනාධිපතිගේ - පාලිත ප්‍රනාන්දුගේ රට ගමන් තහනම තාවකාලිකව අත්හිටුවයි

February 14, 2018   09:56 pm





ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ රක්නා  ලංකා සමාගමේ හිටපු සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරුන්ට අධිකරණයෙන් පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව අත්හිටුවා තිබේ.

රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබා ගැනීම ඇතුළු අධි චෝදනා යටතේ ඔවුන් දෙදෙනාට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණි.

අදාළ නඩුව අද (14) කැඳවු අවස්ථාවේ මෙහි දෙවන විත්තිකරු වන නිශ්ශංක සේනාධිපති මහතාට වෛද්‍ය  පරීක්ෂණයක් සඳහා ජර්මනියට යාමට අවශ්‍ය බවත් තෙවැනි විත්තිකරු වන මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට මළල ක්‍රීඩා සංගමයේ කටයුතු සඳහා නිරතුරුව විදේශගත වීමට සිදුවන බව ජනාධිපති  නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණය වෙත කරුණු දක්වා තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා මාර්තු මස 16 වනදා දක්වා විත්තිකරුවන්ට විදෙස්ගත වීමට අවසර ලබාදෙන ලෙස නියෝග කර තිබේ.

එමෙන්ම එම තහනම ඉවත් කළ බව ආගමන විගමන පාලකවරයාට දැනුම්දෙන ලෙසද මහාධිකරණ විනිසුරුවරුයා නියෝග කර තිබේ.

කෙසේවෙතත් ඉදිරියේදී මෙම සැකකරුවන් දෙදෙනා ඇතුළු සැකකරුවන් 08 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන සාක්ෂි විභාගය ලබන 26 වනදා පැවැත්වීමට නියමිත බැවින් එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

මෙම නඩුව ලබන මාර්තු මස 19 වන දින යළි විභාගයට ගන්නා අතර එම දිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.