අධිවේගී මාර්ගවල වේග මාපක උපකරණ පද්ධතිය අද දිනයේ සිට ක්‍රියාත්මකයි

අධිවේගී මාර්ගවල වේග මාපක උපකරණ පද්ධතිය අද දිනයේ සිට ක්‍රියාත්මකයි

February 14, 2018   09:45 pm


අධිවේගී මාර්ගවල වේග මාපක උපකරණ පද්ධතිය අද දිනයේ සිට ක්‍රියාත්මක කළ බව සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.

අධිවේගී මාර්ගවල උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 100 ක් වන අතර එය ඉක්මවා ගමන් කරන රියදුරන්ට එරෙහිව නඩු පැවරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම මේ හරහා සිදු කෙරෙන බව එම කොට්ඨාසය සඳහන් කළේය.

පොලිස් නිලධාරීන් විසින් අධිවේගී මාර්ගයේ රැදී සිටිමින් අධික වේගයෙන් ධාවනය වන රථවාහන හා සම්බන්ධ නඩු මෙහෙයුම් කටයුතු සිදුකළද එහිදී විවිධ ප්‍රායෝගික ගැටළු මතුව තිබුණි.

ඒ අනුව මෙම නව වේග මාපක සවි කිරීමට තීරණය කර ඇති අතර එමඟින් පැයට කිලෝමීටර් 100  ඉක්මවා ගමන් කරන රථ වාහනවලට එම රියදුරන් ගමන් කළ වේගය පිටවීමේ පිවිසුමේදී ටැබ් යන්ත්‍රයක් හරහා ඔවුන්ට පෙන්නුම් කෙරෙන බව සංචාරක පොලිස් කොට්ඨාසය සඳහන් කළේය.

මෙම ක්‍රමවේදය මීට ප්‍රථම නොතිබීම හේතුවෙන් රියදුරන් පොලිස් නිලධාරීන්ට විවිධ චෝදනා එල්ල කළ බව එම කොට්ඨාසය සඳහන් කරයි.

නව වේග මාපක උපකරණ කොළඹ -  කටුනායක සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් ස්ථාන 17 ක ස්ථාපිත කර ඇති බව සංචාරක පොලිස් කොට්ඨාසය වැඩිදුරටත් පැවසුවේය.