පුංචි ඡන්දෙ ජය සමරණ අස්සේ සමහර තැන් උණුසුම්

පුංචි ඡන්දෙ ජය සමරණ අස්සේ සමහර තැන් උණුසුම්

February 14, 2018   12:24 pm

පළාත් පාලන ඡන්ද විමසීමෙන් ජය ලද අපේක්ෂකයින් සිය ජය සැමරීම වෙනුවෙන්  සංවිධාන කළ වැඩසටහන් කිහිපයක් පිළිබඳව අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා විය.

ඒ අතර පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා කිහිපයක් පිළිබඳවත් තොරතුරු වාර්තා වී තිබේ.

පානදුර ප්‍රාදේශීය සභාව වෙනුවෙන් ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ වැදී ජයග්‍රහණය කළ සුමිත් අතුකෝරළ මහතා ඇතුළු ආධාරකරුවන් පානදුර මාලමුල්ල ප්‍රදේශයේදී ඊයේ(13) සිය ජය සමරනු ලැබීය.

කහවත්ත ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කර ජයග්‍රහණය කළ අපේක්ෂයින් පිළිගැනීම වෙනුවෙන් පාක්ෂිකයින් සංවිධාන කළ උත්සව කොටකෙතන ප්‍රදේශයේදී ඊයේ පැවැත්වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ අතර ලුණුගම්වෙහෙර පුංචි අප්පුජඳුර ප්‍රෙද්ශයේ නිවසක නවතා තිබූ කුඩා ලොරි රථයකට අද අලුයම 2ට පමණ කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබේ.

එමෙන්ම එහිදී අදාළ පිරිස එම නිවසට ද ගිනි තැබීමට උත්සාහ කර ඇති අතර ප්‍රදේශවාසීන් විසින් ගින්න මැඩපැවැත්වීමට ක්‍රියා කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පාක්ෂිකයින්ට අදාළ ලොරි රථයෙන් ප්‍රවාහන පහසුකම් සැපයීම මෙම ගිනි තැබීමට හේතු වන්නට ඇති බවට නිවැසියන් සැක පළ කරයි.